එකී ස්ථාන හතර ඇතුළුව ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ස්ථාන කරා ගොස් පහන් සිත් උපදවා ගන්නා වූ ශ්‍රී ලාංකික මෙන්ම සෙසු රට වැසි බෞද්ධ ජනතාව අතිමහත්ය. ඉන්දියාවේ උත්තර ප්‍රදේශය ආශි්‍රතව එම වැදගත් ස්ථාන පිහිටා තිබේ.
ශ්‍රී බුද්ධ වර්ෂ 2557ක් වූ වෙසක් පුර පසළොස්වක පොහොය 24 වැනිදා සිකුරාදාට යෙදී තිබිණි. බුදුන් වහන්සේගේ උපත, බුදු වීම හා පරිනිර්වාණය යන තෙමඟුල යෙදී තිබුණේ වෙසක් පොහෝ දිනයෙහිය. ආමිස ප්‍රතිපත්ති පූජාවෙන් ලෝකවාසී බොදුනුවෝ මෙම තෙමඟුල සැමරූහ. ගසක් යට ඉපිද, ගසක් මුල බුදු වී ගස් සෙවණක පිරිනිවන් පා වදාළ අසම සම ශේ්‍රෂ්ඨයාණෝ
දෙසූ දහම අකාලික වන්නේද එම අලපේච්ඡතාව නිසාය.
ඉන්දියාව යනුවෙන් අප හැඳින්වුවත් සැදැහැවන්ත බෞද්ධයෝ එම රට දඹදිව යැයි කියති. දඹදිව යෑමට කාලයක් තිබේ. අධිකඋෂ්ණය හා අධික ශීතල දේශගුණයෙන් තොර සෞම්‍ය දේශගුණයක නම් වඩා උචිතය. ශීත දේශගුණයට අකමැතිනම් මාර්තු, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්ද සෞම්‍ය දේශගුණයක් පවතින පෙබරවාරි හා නොවැම්බරයද දෙසැම්බරයේ මුල් සති දෙකද උචිත බවත් ඔක්තෝබරය වඩාත් උචිත බවත් දඹදිව වන්දනා චාරිකාවෙහි ප්‍රමුඛ නමක් ඇති ලෝටස් සංචාරක පෞද්ගලික සමාගමේ අධිපති හර්බට් විජේතුංග මහතා කීවේය.
මේ වෙසක් සමයේ පටන් අපි දඹදිව සිද්ධස්ථාන සම්බන්ධයෙන් කියන්නට උත්සාහ කරමු. අප ආරම්භ කරන්නේ බුදුන් වහන්සේ පිරිනිවන් පෑ කුසිනාරාවෙනි. අවසන් තැනින් පටන්ගෙන මුලට ගමන් කිරීමද එක්තරා අනිත්‍යතාවක් මෙනෙහි කිරීමක් වැන්න.
අවසන් වස්සාන සමය ලිච්ඡවි රජ දරුවන්ගේ රාජ්‍යයෙහි බෙලුව ගමෙහි ගත කළ බුදුන් වහන්සේ බරපතළ ලෙස ගිලන් වූහ. උන්වහන්සේට මරණ මාත්‍ර වේදනා පහළ වී යැයි ප්‍රකාශිතය. එහෙත් වේදනා විඳ ගනිමින් උපස්ථායකවරුනට කතා නොකොට පිරිනිවන් පෑම නුසුදුසු හෙයින් වීර්යයෙන් රෝගය මැඬ පවත්වා ගත්හ.
භික්‍ෂුන් වහන්සේ පිරිවරාගෙන විශාලාවෙහි පිඬුසිඟා වැඩ දිවා කාලය ගත කිරීම පිණිස චාපාල චෛත්‍යයට වැඩම කළ බුදුන් වහන්සේ තථාගතයන් වහන්සේ කැමැති නම් ආයුෂ්කල්පයම ජීවත් විය හැකි බව වදාළහ. උන්වහන්සේ තෙවරක්ම එසේ පැවැසූහ. එහෙත් උන්වහන්සේ පැවැසූ කාරණයෙහි අරුත් තේරුම් ගැනීමට ආනන්ද හිමියන්ට නොහැකි විය. එසේ වූයේ මාරාවේශය හේතුකොටගෙන බව සූත්‍ර දේශනාවන්හි දැක්වේ.
බොහෝ ජනතාවගේ හිත සුව පිණිස තවත් කාලයක් ගත කරන්නැයි බුදුන් වහන්සේට ආරාධනා කරන්නට හෝ උන්වහන්සේ වදාළ කරුණුවල අරුත් විචාරීමට ආනන්ද හිමියන් තුළ උනන්දුවක් නූපන්නේය. ඉක්බිති ආනන්ද හිමි නික්ම ගිය පසු බුදුන් වහන්සේ එම ස්ථානයෙහිම වැඩ හිඳිමින් ආයු සංස්කාරය අත්හළහ. එතැන් සිට තෙමසක් ගත වීමෙන් බුදුන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවනු ඇතැයි තීරණය කළහ.
ආයු සංස්කාරය අත්හැරීමෙන් අනතුරුව අවසන් බුද්ධ චාරිකාවෙහි යෙදුණු බුදුන් වහන්සේ ටික කලක් භණ්ඩගාමයෙහිද, භොග නගරයෙහිද, පාවානුවරද ගත කළහ. චුන්දකර්මාර පුත්‍රගේ අඹ උයන පිහිටියේද පාවා නුවරය. චුන්දකර්මාර පුත්‍රයන්ගේ දානය වැලඳීමෙන් පසු අනුමෝදනා බණ දේශනාකොට ආපසු වැඩම කළ උන්වහන්සේට ලෝහිත පක්ඛන්දිකා (ලේ අතීසාරය) රෝගය වැලඳුනි. අතිශය වේදනාවෙන් සිටි උන්වහන්සේ කුසිනාරාවට වඩිමු යැයි ආනන්ද හිමියන්ට පවසා එහි වැඩම කළහ. ඉතා වේදනාවෙන්ම කුසිනාරාවට ගමන් ගනිද්දී උන්වහන්සේට ක්ලාන්තයක් හට ගත්තේය. ගසක් මුලට වැඩ උන්වහන්සේ ආනන්ද ක්ලාන්තයි මට හිඳ ගැනීම පිණිස සඟළ සිවුර සතරට නවා අසුනක් පනවන්න" පැවැසූහ. අසුනෙහි වාඩි වූ උන්වහන්සේ බීමට පැන් ටිකක් ගෙන එන්නැයි අනඳ තෙරුන්ට කීහ. කරත්ත පන්සියයක් ගමන් කළ බැවින් රෝද නිසා කැලැතුණු දිය තවමත් බොර වී ඇති හෙයින් බීමට තරම් පෑදී නැතැයි ආනන්ද හිමියෝ පැවැසූහ. තුන් වාරයක්ම පැන්ගෙන එන්නැයි බුදුන් වහන්සේ අනඳ හිමියන්ට පැවැසූහ. තෙවැනි වර නදියට යන විට එතෙක් බොර වී තිබූ දිය පිරිසුදුව පැහැදිලිව තිබිණි. පාත්‍රයෙන් පැන් ගෙන වුත් උන්වහන්සේට පිළිගැන් වූහ. එසේ බුදුන් වහන්සේ පැන් වැළඳූ ස්ථානයද කුසිනාරාවෙහි පිරිනිවන් චෛත්‍ය ආසන්නයෙහි තිබේ. දඹදිව වන්දනාකරුවෝ එම ස්ථානයද වැඳ පුදා ගනිති.
මල්ල රජ දරුවන්ගේ උපවර්තන නම් සල් උයනට වැඩම කළ බුදුන් වහන්සේ බුද්ධ පරි නිර්වාණයෙන් පසු තථාගතයන් වහන්සේගේ දේහයට පුද පූජා පැවැත් වීමෙන් කල් ගත නොකොට තමන්ට වැඩ පිණිස උත්සාහ වඩන්නැයිද වදාළහ.
බුදුන් වහන්සේ පිරිනිවන්පාන බව හොඳින් වටහා ගත් ආනන්ද තෙරුන් වහන්සේට අවවාද කළේ හැඩීමෙන් පලක් නොවන බවත් කලක් තමන් වහන්සේට කාය වාක් හා මනෝ කර්මයෙන් උපස්ථාන කළ බවත් පින් කළ කෙනකු හෙයින් වීර්ය වඩන ලෙසත්ය. ඉක්මනින්ම රහත්වනු ඇතැයිද උන්වහන්සේ වදාළහ.
රාජගහ, චම්පා සාවත්ථි සාකේත, කොසොල් ආදී මහා නගරයක පිරිනිවන් නොපා කුසිනාරාම වැනි දුෂ්කර කුඩා අනු නගරයක පිරිනිවන් පාන්නේ මන්දැයි අනඳ හිමියෝ විමසූහ.
"මෙය දුෂ්කර කුඩා අනු නගරයකැයි නොකිව යුතුය. මෙය පෙර කළ මහා සුදස්සන සක්විති රජුගේ කුසාවති රාජධානියයි." යනුවෙන් කරුණු දැක්වූහ. එසේ නම් කුසිනාරාව යනු ගෞතම බුදුන් වහන්සේ ආත්ම ගණනාවකට පෙර සක්විති රජතුමාව සිටියදීද විසූ ස්ථානයකි.
මහණෙනි මා දැන් තොප අමතමි. සියලු සංස්කාරයෝ නැසෙනසුලුය. නොපමාව රහත් බව පිණිස කළ යුතුදැය සපුරමු යනු බුදුන් වහන්සේගේ අවසන් බුදු වදනයි.
කුසිනාරාවෙහි පරිනිර්වාණ විහාරයෙහි උදේ, හවස තේවාව අවස්ථාවේ ගනු ලැබූ ඡායාරූපවල දේවතා එළි සටහන්ව තිබෙනු දැකගත හැකි වන අතර අහසේ දේවතා එළි දක්නට ලැබෙනවා යැයි ජපන් ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානාධිපති, භාරතයේ ප්‍රධාන සංඝනායක හල්පිටිගල අස්සජී නාහිමි පැවැසූහ.
පරිනිර්වාණ විහාරයෙහි සැතපෙන බුදු පිළිමයෙන් නිරූපණය වන්නේ බුදුන් වහන්සේගේ පරිනිර්වාණයයි. අවුරුදු 1,500කට පෙර නිර්මාණය කළ මෙම පිළිම වහන්සේ වෙනුවෙන් මිගාරය 2500 සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ඉන්දියාවේ අගමැති ශ්‍රී ජවහල් ලාල් නේරු විසින් කරවූ බවද නාහිමියෝ කීහ.
"කුසිනාරාවට පැමිණෙන සැදැහැවතුන්ට වැඳ පුදා ගත හැකි ස්ථාන පහක් තිබුණා. දැන් එය හයක් දක්වා වැඩි වී තිබෙනවා. බුදුන් වහන්සේ අවසන් වරට ධර්ම දේශනා කර පැන් වැළඳූ ස්ථානය, උන්වහන්සේ පිරිනිවන් පෑ ස්ථානය, බුදුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ ස්ථානය, මල්ල රජ දරුවන්ට ලැබුණු ධාතුන් වහන්සේ තැන්පත් කළ චෛත්‍යය, පරිනිර්වාණය විදහා දක්වන පිළිමය තිබෙන පිරිනිවන් විහාරය සහ අනුරුද්ධ බෝධිය එම ස්ථාන හයයි."
"බුදුන් වහන්සේ පරිනිර්වාණයට පත්වන අවස්ථාවේ වැඩ සිටි වයෝවෘද්ධ රහතන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේයි. බුදුන්ගේ ශ්‍රී දේහයෙහි ආදාහන කටයුතු භාර වූයේ අනුරුද්ධ හිමියන්ටයි. අනුරුද්ධ හිමියන් වැඩ සිටි අනුරුද්ධ බෝධිය ආදාහන චෛත්‍යය හා පිරිනිවන් මංචකය අතර දකුණු පැත්තෙහි මෙම අනුරුද්ධ බෝධියෙහි පිළිම වහන්සේ නමක් මෑතකදී තැන්පත් කළා.
"පස්වැනි ශත වර්ෂයේ ගුප්ත අධිරාජ්‍ය සමයේ ස්පර්ශ මුද්‍රාවෙන් නිර්මාණය කළ බුද්ධ ප්‍රතිමාවක් බුදුන් වහන්සේ පැන් වැළඳූ ස්ථානයෙහි තිබෙනවා. මල්ල රජදරුවන්ට ලැබුණු බුදුන් වහන්සේගේ ධාතු තැන්පත් කළ චෛත්‍යය ධර්මාශෝක රජු විසින් වඩාත් විශාල ලෙස නිර්මාණය කළා. 11 වැනි ශත වර්ෂයේ මෝගල් අධිරාජ්‍ය (මුස්ලිම් අධිරාජ්‍ය) සමයෙහි පැවැති සියලු වෙහෙර විහාර විනාශ කර දැමූ බවත් අප මතක තබාගත යුතුයි." අස්සජී නාහිමියෝ වැඩිදුරටත් පැවැසූහ.
බුදුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරනු ලැබූ ස්ථානය තිබෙන්නේ පරිනිර්වාණ විහාරයේ සිට කිලෝ මීටර් භාගයක් පමණ දුරින්. එම ස්ථානය තෝරා ගත්තේ ආදාහනය සඳහා වැදගත් ස්ථානයක් අවශ්‍ය වූ නිසයි. මල්ල රජ දරුවන් ඔටුනු පැලඳ වූ ස්ථානය ඒ සඳහා තෝරා ගත්තා යැයිද අස්සජී හිමියෝ කීහ.
පරිනිර්වාණ විහාරයෙහි පරිනිර්වාණ විහාරයෙහි දඹරන් පිළිමයෙහි දක්නට ලැබෙන ත්‍රිලක්ෂණය වෙනත් පිළිමයක දැකගත නොහැකි බව අස්සජි හිමියෝ පැවැසූහ. පිළිමයට අෑතින් සිට බලන විට සතුටින් සිටින ආකාරයක්ද, පිළිමයට මැදින් සිට බලද්දී බුදුන් වහන්සේ රෝගාතුරව සිටින අයුරුද, යටිපතුල් දෙසින් බැලූ විට පරිනිර්වාණයට පත්වී ඇති ආකාරයද දක්නට ලැබෙනවා. එය මෙහි ඇති ,ලක්ෂණ තුනයි.
පරිනිර්වාණ විහාරයෙහි පිළිම වහන්සේ දකින සඳ බුදුන් වහන්සේගේ පරිනිර්වාණය සිහිවී සංවේගයෙන් හඬා වැටෙන උවැසු උවැසියෝ දහස් ගණනක් දිනපතා කුසිනාරාවෙහිදී දැකගත හැකිය.
පරිනිර්වාණයට සපැමිණි බුදුන් වහන්සේගේ එම පිළිම වහන්සේගේ අසල හිඳින විට දැනුණේ අපමණ සංවේගයකි. එම හැඟීම ලියා හෝ කියා හෝ විස්තර කළ නොහැක්කේය. සිය දහස් ගණනක් සැදැහැතියෝ ෙදාහොත් මුදුනත තබා පිළිමය පැදකුණු කරති. ඇතැමෙක් සිවුරු පූජා කරති. එහෙත් මඳ වේලාවක් හෝ බුදුන් පාමුල සිට භාවනා කළ හැක්කේ නම් එහි අගය කොතරම්ද? ඒ අගය කියාදුන්නේ හින්දු භක්තිකයෙකි.
"මේ වැඩසිටින්නේ ලෝකයේ ශේ්‍රෂ්ඨතම උතුම්ම මනුෂ්‍යයායි. අඩ පැයක්වත් මෙහි සිට භාවනා කරන්න. එතරම් සුවයක් තවත් නැහැ"යි පරමානන්ද් පාන්ඩේ නම් හින්දු භක්තික මාධ්‍යවේදියා පැවැසුවේය. ඔහුගේ උපදෙසින් බුදු හිමි පාමුල වැඳ වැටුණෙමි.
සියල්ල නිවී සැනහී ගියාක් මෙනි. එහෙත් සියල්ල සිදුවී වසර දෙදහස් පන්සිය පනස් ගණනක් ගත වී තිබේ. අප එදා මෙහි සිටින්නට ඇත්ද... නැද්ද? සිතා ගත නොහැකිය. වික්ටර් රත්නායක ගැයූ බුදු හාමුදුරුවො අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ යන ගීය දන්නා සිංහල බෞද්ධයන්ට මෙතැනදි එය සිහිවනු නිසැක යැයි මට සිතිණි.
ශාස්ත්‍රපති මඬුල්ලේ විජිතනන්ද, මෙහෙණින් වහන්සේ කුසිනාරාවෙහි ගත කළ හෝරා කිහිපය ගැන පැවැසුවේ මෙසේය.
පරිනිර්වාණ විහාරය තුළට ගිය අප බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ මංගල්‍යයට පැමිණ ඇති බවක් මුලින් සිතුණා. එපමණක් දුකක්, භක්තියක් හා වේදනාවක්ද මුසුවූ හැඟීම කියා පැහැදිලි කරන්න බැහැ. එය මහා සංවේගයක්.
ඕනෑම සැදැහැතියකු දැක සංවේගය උපදවා ගත යුතු ස්ථාන හතරෙන් සංවේදී ස්ථානය කුසිනාරාවයි. එහිදී ඇතිවන සංවේදනාව තවමත් පෘථග්ජන අපට අති විශාලයි. කොපමණ ගල් හිතක් ඇතියකුට වුවත් පිරිනිවන් මංචකය අබියසදී දෑසට කඳුළක් උනනවා. ඔය තරම් ආශ්චර්යයක් තවත් වෙනත් ස්ථානයක තිබිය හැකිද? කහගොල්ලේ සෝමවංශ හිමියෝ මෙසේ කීහ.
පරිනිර්වාණ පිළිම වහන්සේ තැන්පත් කරැති කුසිනාරාවේ විහාරය තුළ ඡායාරූප ගැනීමේදී ඒවා ඉලෙක්ට්‍රොනික් කැමරාවකින් ගත් ඒවානම් ඉතා පැහැදිලිව දේවතා එළි දකින්න ලැබෙනවා. අහසේ පාවී යන දේවතා එළි තිබෙනවා. වර්ණ ඡායාරූපවල ඒවා ළා නිල් පාට හා රතු පාට වර්ණයෙන් සටහන්වෙනවා. ඒවා කැමරාවේ දෝෂ යැයි ඇතැමෙක් පවසන්න පුළුවන්. නැහැ.... ඒවා ඇතැමෙක් පියවි ඇසින්ද දකිනවා. සැදැහැවත් පුද්ගලයකු දැක බලාගත යුතු ස්ථාන හතරක් බුදුන් වහන්සේ දේශනා කළා. එම ස්ථාන වැඳ පුදා ගැනීම මරණින් මතු සුගතියට පත්වීමට හේතුවක්. ඇත්තෙන්ම මා කලින් සඳහන් කළ ඡායාරූපවල කළු පාටින් අලෝකය දකින්නට තිබෙනවා නම් ඒවා දේවතා එළි නොවේ. නොයෙක් භූත කොට්ඨාසවලින් නික්මෙන ආලෝක විය යුතුයි.
බත්තරමුල්ල පැලවත්තේ එස්.කේ. මුදලිගේ මහතා කියන්නේ මෙවැන්නකි.පරිනිවන් පෑ බුදුන් වහන්සේගේ පිළිමය තිබෙන පරිනිර්වාණ විහාරය ඇතුළත දහවල් කාලයේ ගත් ඇතැම් ඡායාරූපවල මෙන්ම උදේ පාන්දර සහ සවස හයයි තිහට පමණ ගනු ලැබූ ඡායාරූපවලත් දේවතා එළි සටහන් වෙලා තිබෙනවා. එම පිළිම ගෙය ආසන්නයේ පිහිටි අංගාරා චෛත්‍යය අසලත් දේවතා එළි දැකිය හැකියි.
බෞද්ධයන්ට කුසිනාරාවෙහි වැදගත්කම මෙන්ම එහි පවතින හාස්කම් ගැන මෙහිලා ලිවීම ප්‍රමාණවත් නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණය කෙසේ සිදුවිණිදැයි දීඝ නිකායේ මහා පරිනිර්වාණ සූත්‍රයෙහි මෙසේ දැක්වේ.
"ඉනික්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ සඤ්ඤාවේදයික නිරෝධ සමාපත්තියෙන් නැඟිට සිට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන් සේක. නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවතින් නැඟී ආකිඤ්ඤ්ඤායතන සමවතට සමවන් සේක. ආකිඤ්චඤ්ඤායතන සමවතින් නැඟී ආකාසානාඤ්චයාතනයට සමවන් සේක. ආකාසානඤ්චායතන සමවතින් නැඟී සිවුවැනි දැහැනට සමවත් සේක.
ආකාසානඤ්චායතන සමවතින් නැඟී සිවුවැනි දැහැනට සමවන් සේක. සිවුවැනි දැහැනෙන් නැඟී තෙවැනි දැහැනට සමවන් සේක. දෙවැනි දැහැනින් නැඟී පළමු දැහැනට සමවන් සේක. පළමු දැහැනින් නැඟී දෙවැනි දැහැනට සමවන් සේක. දෙවැනි දැහැනින් නැඟී සිවුවැනි දැහැනට සමවන් සේක. සිවුවැනි දැහැනින් නැඟී එයට අනතුරුවැ පිරිනිවන් සේක...