ප්‍රශ්නය, ගිහි වතක ඉඳගෙන අපේ කටයුතුත් කරදරයක් නැතුව කරගෙන, හැකි ඉක්මනින් අප්‍රමාදව නිවන් දකින්න තියෙන හරි මග මොකක්ද?
නිවන් දැකීමට පැවිදි වෙන්නම අවශ්‍යය නෑ. ගිහිවතේ ඉඳං ඕන තරං නිවන් අවබෝධ කරල තියෙනව. තමංගෙ අඹු සැමි ජීවිත ගත කරල තියෙනව. පවුල් ජීවිත ගත කරල තියෙනව. එහෙමත් ඉඳල අනාගාමී ඵලයට පත්වෙලත් ඉඳල අන්තිමට අරිහත්වයට පත්වෙලත් කෙලවර කරල තියෙනව. බුද්ධ සාසනේ එහෙම පෙන්නල තියෙනව. අපිට කොහොමහරි හරියාකාරවම නිවන් මග පැහැදිලිව තියෙන්නයි ඕනෙ.
අපි බැලුවොත් අද නානා ප්‍රකාර ක්‍රම නිවන් මග හැටියට වඩනව. අපේ ස්වාමීන් වහන්සේලත් ඕන තරං වඩනව. නමුත් උන්වහන්සේලගෙං හරි යතාර්ථයෙන්ම අවංකවම ඇහුවොත් එහෙම මාර්ගඵල අවබෝධයක් හෝ ධ්‍යාන ලැබීමකට හේතු ක්‍රමයක් අහුවෙලා තියෙනවද? කියල, අපි තව බලාපොරොත්තු වෙනව. තව වඩනව. එක්කො ඒ වගේ උත්තරයක් දෙනව. එහෙම නැත්තං සමහර කෙනෙක් සමහර වෙලාවට අපි ලබල තියෙන්නෙ කියල නොයෙක් තර්කවාදත් ඉදිරිපත් කරනව. නමුත් අපි ඇහුවොත් එහෙම, “හොඳයි ඒකෙදි රාගය, ද්වේශය, මෝහය යම් තරමකට දුරු වෙලා තියෙන බවට සහතිකද?” කියල, ඒකට නං උත්තරයක් එන්නෙ නෑ. එක්කො චරිත ලක්ෂණය බලනකොට සුළු දේටත් කිපෙනව. ගැටෙනව. ඇලීම් සහගත බව වලිනුත් හුඟාක් වැඩියි. ඉතිං ඇලීමයි ගැටීමයි යම් තැනක තියෙනවනං මුලාවත් එතන. ඒ නිසා අපිට
බාහිරින් මොනව හරි දැනගත්ත පලියට එකපාරට නිගමනයක් කරන්න බෑ එහෙම ඵලයක් ලැබුවද කියල.
ඵලයක් ලැබුවනං තමන්ටම ඇලීම ගින්නක් හැටියට, ගැටීම ගින්නක් හැටියට , මුලාව ගින්නක් හැටියට වැටහිල තියෙන්න ඕනෙ. ඇලීම ගින්නක් හැටියට වටහ ගත්තනං හරියට හරි. ඒක තමයි ප්‍රධානම තැන. මොකද ගැටීමට මුල ඇලීම. ඇලීම යම් තැනක නැත්තං ගැටෙන්න දේකුත් නෑ, මුලාවෙන්න දේකුත් නෑ. එහෙනං පළමුව අපි එකක් කරගන්න ඕනෙ, ඇලීම දුරු කරගන්න ක්‍රමයක් හොයාගන්න ඕනෙ. අපේ භාසාවෙං කියනවනං, ඇලීම දුරු කරගන්න පුළුවන්නං යම් ක්‍රමයක් තුලින්, අන්න ඒ ක්‍රමය අපි දැනගත්ත දාට අපිට පුළුවන් කම ලැබෙනව ඇලීම දුරු කරගන්න. හැබැයි අපේ මේ බුද්ධ සාසනේඇලීම දුරු කරගෙන තියෙන්නෙ, ප්‍රතිපත්ති පුරනවයි කියල හිටං ඔය වත පුරල නෙමෙයි. සිල්වතක පිහිටගෙන ඉඳල විතරක් ඇලීම දුරු වෙලා නෑ.
බුදුරජානන් වහන්සේ ලඟට ගිය සමහර කට්ටිය දාමරිකයො. බුදුරජානන් වහන්සේව පපුව පලල මරල දානව, කකුල් දෙකෙං අල්ලල ගඟෙං එහා පැත්තට විසි කරනව කියල තමයි ආලවක යක්ෂය ඉඳගත්තෙ. ආයි මේ සිල් අරං ඉඳගත්ත, සිල් සමාදන් වෙලා ඉඳගත්ත එහෙම නෙමෙයි. අංගුලිමාල බුදුරජානන් වහන්සේ ලඟට ගිහිල්ල මහණ හිටපිය කියල ඉඳගත්තෙ කඩුවත් උස්සගෙන ඇඟිලි මාලෙ කරේ දාගෙන.
නමුත් බණ පද කීපයක් අහනකොට මූලධර්මය තේරුම් ගත්ත. ඊට පස්සෙ සංවරත්වය ලැබුව. එහෙනං මේ ධර්මාවබෝධ කරගැනීමේදි අපට හොඳට පැහැදිලි කරුණක් තමයි අපි සිල් වතක ඉඳල ධර්ම අවබෝධ කලා නෙමෙයි. යම්කිසි මූලධර්මයක් අවබෝධ කරගත්ත. ඒ අවබෝධයත් එක්කල නැගුනා සංවරත්ථේන සීලං කියල සීලය.
“යං සමාදානං තං වතං” යම් සමාදානයක් ඇද්ද ඒක වතකි. “සංවරත්ථේන සීලං” සංවරත්වයේ පිහිටීමක් ඇද්ද එය සීලයකි. දැං අද වත සීලය කරගෙන තියෙන්නෙ. සිල් සමාදං වෙනව කියල වචනයක් අපේ තියෙනව. සිල් වත තමයි සමාදන් වෙන්නෙ. සිල් කියන එක සමාදං වෙන එකක් නෙමෙයි. සිල් කියන එක පිහිටන එකක්. දැං අපි හිතමුකො මෙහෙම දෙයක්. අපි යම්කිසි දෙයක් අප අතින් සිද්ධ වෙනවට ඒක පාපයක්නං, වරදක් නං, අපි ඒක සිද්ධ නොවෙන්න අපි යම්කිසි වැඩ පිලිවෙලක් හදාගන්නව. මම නං ජීවිතේ ගියත්, මෙන්න මේක වැරදියි කියල පෙන්නපු සම්මත කරපු මේ වරද මං කරන්නෑ . ඒකට කියනව වතක් කියල. ජීවිතේ නැති උනත් සත්ත්ව ඝාතනය කරන්නෑ. හොරකං කරන්නෑ සුරා සූදු දුරාචාර කරන්නෑ. බොරු කියන්නෑ. මත්පැන් බොන්නෙ නෑ. අපි මේවගේ එක එක විදිහෙ නිගමන කරගන්නව.
අපි සත්තු මරන්නෙ හේතුවක් උඩ. ප්‍රාණඝාත කරන්නෙ හේතුවක් උඩ. හොරමැර වංචා කරන්න හේතුවක් තියෙන්න ඕනෙ. සුරා සූදු දුරාචාර කරන්නෙත් මොනව හරි හේතුවක් උඩ. නැත්තං කරන්න හේතුවක් නෑ. ඒ හේතුව අපිට ප්‍රිය මනාප නං, ඒක ආස්වාද ජනක නං, ඒක වටිනව නං, ඒ වටිනා දේ නිසානෙ අපි ඒක කරන්නෙ. යමක් නොවටිනව කියල දැනගත්ත දාට අපිට ඕනකමක් නෑනෙ ඒක කරන්න? අපි ඔය වත රැකගෙන හික්මිලා කොච්චර හිටියත් ඒක තේරෙන්නෑ.
වටිනාකමක් තියෙනවද නැද්ද කියල දැනගන්න බුදු රජානන් වහන්සේ දේශනා කලා එක්තරා ධර්මයක්. “අට්ඨක්කරා තීනිපදා සම්බුද්ධේන පකාශිතා”. අකුරු අටක් පද තුනක් බුදු වරයන් වහන්සේලා ප්‍රකාශ කලා. “නහි සීල වතං හෝතු උප්පජ්ජාති තතාගතා” සිල් වතක් දෙන්න තතාගතයන් වහන්සේ ඉපදිලා නෑ. “අට්ඨක්කරා තීනිපදා සම්බුද්ධේන පකාශිතා”. අකුරු අටක් පද තුනක් බුදු වරයන් වහන්සේලා ප්‍රකාශ කලා. මෙන්න කරපු දේ.
අපි යථාවබෝධය ලබාගත්තනං අන්න අර වටිනාකමක් තියෙනවයි කියන එක හිතිං අහක්වෙලා යනවා. යථාවබෝධය ලබාගන්නෙ ධර්මයක් දේශනා කරල. මෙන්න මේ ධර්මය හරියට ශ්‍රවනය කලානං එදාට අපි දැනගන්නව අපි මේ වටිනවයි කියල හිතාගෙන ඉඳල තියෙන්නෙ කිසිම වටිනාකමක් නැති දේවල් වලට කියල. මෙන්න මේ අවබෝධය කවද හරි ආවනං අපිට ඒ ධර්මය තුලින්, ඔය වටිනාකම බැහැල යනව. පළමු වටිනාකම බැහැල ගියදාට ඒක වටිනවයි කියල හිතාගෙන කරපු තරමක් වැරදි ඔක්කොම ඉවරයි.
එහෙනං සෝවාන් පුද්ගලය අත්හැරපු වැරදි ගාන ඇහුවොත් එහෙම අපිට කියන්න අපේ කටවල් නෑ. මොකද හේතුව? සාමාන්‍යය ලෝකයා, නැත්‍තං පෝතුත්ජනිත කියන පෘතග්ජන කියන පුද්ගලයා අප්‍රමාණව අසීමිතව මේ ලෝකෙ වටිනාකමක් හිතාගෙන ඉන්නව . එයාට සීමාවක් නෑ වටිනව කියන දේවල් වල. එහෙම ස්වභාවයක තමයි සාමාන්‍යය මනුස්සය ඉන්නෙ. කවද හරි මේ ධර්මාවබෝධය හරියට ලබාගත්තු දාට එයාට, අනේ මේ නොවටිනා දේකටනෙ වටිනව කියල හිතාගෙන මෙච්චරකල් හිටියෙ, කියන හැඟීම එනව. එයාට ධර්මාවබෝධය තුලින් එක්තරා මට්ටමක නොවටිනාකමක් වැටහිල එනව. අන්න ඒ වටිනාකම යම් තරමක් බැහැල ගියදාට, අසීමිතව වටිනාකමක් තියනව කියල හිතාගෙන හිටපු ඒ කාලෙ ඉඳල තිබිච්ච යම් තරමක් බලාපොරොත්තු, කෙලෙස්, ඔක්කොම බිඳිල යනව. බුදුරජානන් වහන්සේ දේශනා කරනව, මහ මුහුදට ඇඟිලි දෙක දාල වතුර ටිකක් උඩට අරගත්තහම ඇඟිලි දෙකේ ගෑවෙන චතුර බිංදුව විතර ඇති සෝවාන් පුද්ගලයගෙං ඉතුරු වෙන හරිය. ගෙවෙන හරිය මේ මහ මුහුදෙ ජලය විතර ඇති. එහෙනං අපි කොහොම විග්‍රහ කරන්නද?
මේ මහපොළොවෙන් නිය පිටට පස් පොඩ්ඩක් අරගත්තොත් වැලි පොඩ්ඩක් අරගත්තොත් සෝවාන් පුද්ගලයට තව ගෙවන්න තියෙන හරිය ඒ නියපිට තියෙන වැලි ටික විතර ඇති. පස් ටික විතර ඇති. ගෙවිච්ච හරිය මේ මහ පොළොවෙ පස් ටික විතර ඇති. මෙහෙම උපමා පෙන්නල තියෙනව. එහෙනං එතකොට සෝවාන් පුද්ගලය කොච්චර ගෙවල තියෙන්න ඕනෙද? එහෙනං අපිට දැං හිතාගන්න බෑ සෝවාන් පුද්ගලයත් මේ අඹුදරුවන් හදාගෙන ජීවත් වෙනව, ගෙවල් දොරවල් වල ජීවත් වෙනව, කාම ලෝකයෙ ජීවත් වෙනව කිව්වම. ඉතිං එයාගෙ ගෙවිච්ච එකක් අපිට පේන්නෑනෙ. බැලුවහම පේන්නෑ.
කුක්කුටවිත වැද්දගෙ බිරිඳ, මස් වැද්දෙක් එක්කල පැනල ගිහිල්ල මහ කැලේ ඉඳල, දරුවො දහ දෙනෙකුත් හදාගෙන, අර මස් වැද්දට උදව් උපකාර කරගෙන ජීවත් වුනා. ඒ කුක්කුටවිත වැද්දගෙ බිරිඳ හත් අවුරුද්දෙං සෝවාන් විච්ච කෙනෙක්. මහපොළොවෙ පස් තරං ගෙවපු, නියපිට පස් තරං ගෙවන්න තියෙන කෙනෙක්. එහෙනං එච්චර ගෙවුනනං, ඉතුරු ඔච්චර නං ඒ ඉතුරු පොඩ්ඩෙං අනිත් අයට එහෙම වෙනසක් පිටින් පේනවද? සිටු කුමරියක් මස් වැද්දෙක් එක්කල පැනල ගිහිල්ල කැලේට ගියා. එයා සෝවාන් වෙච්ච කෙනෙක්. එයා මහ පොළොවෙ පස් තරං ගෙවල නිය පිට පස් තරං තව ගෙවන්න ඉතුරු වෙලා තියෙන කෙනෙක් කියල එහෙම කිව්වොත් අපිට ඔප්පු කරන්න හේතු සාධක තියෙනවද?
එහෙනං මේකයි කාරණය. අපි අල්ලගෙන තියෙන ඒවා, අපේ තියෙන බලාපොරොත්තු ලෝකයට බැඳිල තියෙන බැදීම් වලින්, අර මහ පොළොවෙ පස් තරං තියෙන හරියක් අපිට පේන්නෙ නැති හරිය. කොච්චර අපි බැඳිලද ඉන්නෙ ලෝකයට කියලඅපිටම හිතාගන්න බැරි හරිය. මෙන්න මේ නිසයි අර අහක් වීමේ අංගය නොපෙන්න හරින්නෙ. අපිට හිතාගන්න බැරි හරියක් අහක් උනා.
“ආස, ඔයාල ආසද? මම නං මොනවටවත් ආස කරන්නෑ”. එහෙම කියන කෙනාගෙ හොයල බැලුවොත් එහෙම ආසාවල් කොච්චර තියෙනවද බලාපොරොත්තු කොච්චර තියෙනවද මේ ලෝකෙ යමක් භුක්ති විඳින්න කියල , අප්‍රමාණවතියෙනව. නමුත් එයාට තේරෙන්නෑ, එච්චර බලාපොරොත්තු ඇතුවද මම ඉන්නෙ කියල. ඔන්න ඕක තේරෙන්නෑ.
ආසාව කියන එක තව විදිහකින් කියනවනං, අපි මේ ලෝකෙ යමක් බලාපොරොත්තු වෙනව. මෙන්න මේ බලාපොරොත්තු වෙන ඒව අවිද්‍යා සහගත තෘෂ්ණා සහගත යම් තරමක් ඇද්ද, මෙන්න මේ ටික අපිව සසර ගමනට ගෙනියනව. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් අපි ලඟ ඇතිවන යම්තාක් බලාපොරොත්තු ඇත්නං, ඒව තමයි අපිව සසර ගමනට ගෙනියන මූලධර්මය. ඔන්න ඔය බලාපොරොත්තුව බිඳහැරුණු දාට සසර ගමනට ඇදගෙන යන්න තිබිච්ච බලාපොරොත්තු නැත්තං ආසාවන් ඉවරයි. ඇලීම ඉවරයි. මෙන්න මේ ටික අයිං කරන්න ඕන හරිය.
නිවන බලාපොරොත්තු වෙන කෙනාට ඒ ටික අයිං කරල බෑ. ඒක නිවනට හේතු වන හරිය. ලෝකය බලාපොරොත්තු වෙන කෙනාට තියෙනව චන්ද රාගය. ඒ චන්ද රාගයෙන් ලෝකය බලාපොරොත්තු වෙනව. චන්ද ඉර්දිපාදයෙන් නිවන බලාපොරොත්තු වෙනව. ඔය බලාපොරොත්තු තෝර ගන්න ඕනෙ. චන්ද ඉර්දිපාදය කියන්නෙ සත් තිස් බෝධි පාක්ෂික ධර්ම වලට අයිති එකක්. සතර ඉර්දිපාද වලට අයිති එකක්. ඒක අවශ්‍යයි. ලෝකය බලාපොරොත්තු වෙන්නෙ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන්. මෙන්න මේ වෙනස තෝර ගන්න ඕනෙ.
ලෝකයට අයිති මොනවද? ඇස ලෝකයට අයිතියි. කන ලෝකයට අයිතියි. දිව ලෝකයට අයිතියි. නාසය ලෝකයට අයිතියි. කය ලෝකයට අයිතියි. මන ලෝකයට අයිතියි. එහෙනං ලෝකය බලාපොරොත්තු වෙන්නෙ මොකටද? ඒව මොකටද අපිට? රූප බලන්න. ශබ්ද අහන්න. ගඳ සුවඳ දැන ගන්න. රහ දැන ගන්න. ස්පර්ෂ දැනගන්න. ඔය දැන ගත්ත ඒව ගැන හිතන්න. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ෂ ධර්ම කියන ඔය කාරනා ටික බාහිර ලෝකයේ තියෙනව. ඔය ටික භුක්ති විඳින්න අවශ්‍යය කරන ටික, ඇස කන දිව නාසය ශරීරය මන අපි ලඟ තියෙනව ලෝකය භුක්ති විඳින්න. ඔය ටික හදාගත්තෙ ලෝක භුක්තිය අවශ්‍යය නිසා. බලාපොරොත්තුව නිසා කර්ම ශක්තියකින් නිපදෙව්වා. එහෙනං ඇස කන දිව නාසය ශරීරය මන කියන ඒවායෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ෂ ධර්ම කියන මේ ලෝකෙ තියෙන ඒවා, ලොවන්න අපි යම් තරමක් බලාපොරොත්තු වෙනවද, ඒ තාක්කල් ලෝකයෙන් නික්ම යන්න බෑ.
අපි හිතාගෙන හිටියත්, කැමති උනත් නැතත් මොන ආගමේ කිව්වත් ආගම නොකිව්වත් කෝකෙ කිව්වත්, ඇස කන දිව නාසය ශරීරය මන කියන මේවයෙං, යම්තාක් කල් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ෂ ධර්ම බලාපොරොත්තු වෙනවද, ඒක තමයි ලෝකෙ පැවැත්මට හේතුව. අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා බලාපොරොත්තු වෙනවනං ඒවා හොඳයි කියල බලාපොරොත්තු වෙනවා. අපි ලඟ යම්තාක් තියන ඒ බලාපොරොත්තු කන්දරාව නිසා තමයි අපේ පැවැත්ම හැදන්නෙ, අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් බැඳ ගන්නව කියන්නෙ ඕකෙන්. ලෝකෙ බැඳෙන්නෙ ඕකෙන්.
මෙන්න මේ තියෙන බලාපොරොත්තු සමූහය කොච්චරද කියනවනං, නෑ මං මොනවටවත් ආසා නෑ කියන කෙනා බලන්න බලාපොරොත්තුවක් නැද්ද ඇහෙං? හොඳයි එක දෙයක් බැලුවට පස්සෙ දැං ඇති කියල හිතෙනවද? අප්‍රමාණයි. කොච්චර බැලුවත් මදි. පොඩ්ඩක් සද්දයක් ඇහුනොත් ඒ පැත්ත බලනවා. මොකටද බලන්නෙ? ඒක මොකක්ද කියල දැනගන්න ආසයි. දැනගත්තට පස්සෙ ඒක වැදගත් දෙයක්ද කියල හිටං හොයල බලල වැදගත් දෙයක් නං යලි යලි බලනවා. තව තවත් බලන්න ආසා වෙනවා. රැස් කරගන්නත් ඕන. රැස් කරගන්නත් බලනවා. විඳින්නත් ඕනෙ. විඳින්නත් බලනවා. මතු පතන්නත් හොඳ දෙයක්ද කියල ඒ පැත්තෙත් හොය හොයා හෝදිසි කරනවා. මෙන්න මේ විදිහට ලෝක සත්ත්වයා පතන්න බලාපොරොත්තු වෙනවා. රැස් කරන්න බලාපොරොත්තු වෙනවා. විඳින්න බලාපොරොත්තු වෙනවා. දැනගන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න අපිට අපේ කියල තේරුම් ගන්න පුළුවන් විදිහකින් අපි මේ බලාපොරොත්තු ඇති කර ගන්න ආකාරය. අපි ප්‍රාර්ථනා කරනවා. මේ ලෝකෙ ඇහැට පේන ඒවා, කනට ඇහෙන ඒවා, දිවට දැනෙන ඒවා, නාසයට දැනෙන ඒවා, කයට දැනෙන ඒවා, සිතට දැනෙන ඒවා යලි යලි ගොඩ නග නගා අරගන්න ස්පර්ෂ කරන්න, විඳින්න ඒ වේදනාව භුක්තිය සඳහා. අපි යම් තරමක් බලාපොරොත්තු තියා ඉන්නවනං මෙන්න අපි පතනව කෙලවරක් නැතුව. මතු මතුත් මට ඕන. මතු මතුත් එහෙම ලබන්න ඇත්නං. ඔන්න එ ක බලාපොරොත්තුවක්. ලැබුවට පස්සෙ අනේ මගෙ කියල මම කියල මගෙ කියල ගොඩ ගහගන්න ඇත්නං? ඊලඟ බලාපොරොත්තුව. එතකොට රැස් කරගන්නව. විඳිනව. විඳින්න ඕනෙ නිසයි අර ගොඩ ගහගන්නෙ. ඒවායෙං වින්දනය වෙනව. ඇහෙං මන වඩන රූප. කනෙං මන වඩන ශබ්ද. දිවට මන වඩන රස. නාසයට මන වඩන ගන්ධ. කයට මන වඩන පොට්ටබ්බ. සිතට මන වඩන ධර්ම. මේවා වින්දනය කරන්න ආසයි, ඒක විඳීමේ බලාපොරොත්තුව.
ඉතිං විඳීමේ බලාපොරොත්තුවෙන් තවත් එහාට එකක් තියෙනව. අරක මොකක්ද? මේක මොකක්ද? කවුද ඒ? කොහෙද යන්නෙ? මොනවද මේ? ප්‍රශ්නාර්ථයක් නග නගා පර්යේෂණයක් කරන බලාපොරොත්තුව. ඕකට කියනවා දැනගැනීමේ බලාපොරොත්තුව. යම් දවසක ඔන්න ඔය කියන බලාපොරොත්තු ඔක්කෝම නැති කරපු දාට අරිහත්වය. එදාට කෙලෙසන ධර්ම ඉවරයි.
එහෙනං දැන් අපි දකින්න ඕන බලාපොරොත්තු යම් තරමක් යමකින් නැතිවෙනවද, මෙන්න මේ තරම තමයි අපේ නැතිවෙච්ච අත්ඇරිච්ච කොටස. යම් තරමක් බලාපොරොත්තු අපිට තියෙනවද, ඒ අපිට ඉතුරු අයින් කරගන්න තියෙන කොටස. මෙන්න අපිට සිංහලෙන් බණ අහනවනං තේරුම් කරන ක්‍රමය. දැන් මේක පාලි පද වලින් කියන්න ගියොත් එහෙම මෙහෙම තේරෙන්නෙ නෑ. ඕකයි කාරනය. අපිට තේරෙන අපේ බාසාවෙන් කියනවනං ඔය විදිහට තේරුම් ගත්තහම හොඳට පැහැදිලිව තේරෙනව. පස්සෙ ඕක පාලියට දාල බැලුවත් ක්‍රමානුකූලවම යෙදිල තියෙනව. පෙල දහමට අනුව බැලුවත් ඕක ක්‍රමානුකූලව යෙදිල තියෙනව.
මෙන්න මේ නිසා මේ ලෝකයේ යම් කෙනෙක් සෝතාපන්නයෙක් උන දාට පතන්න වටිනාකමක් මේ ලෝකෙ නෑ කියල දකිනවා. ඇහෙන් රූප පේනවා, බලනවා, විඳිනවා ඒකට අවශ්‍යය දේ රැස් කරනවා. හැබැයි මේවා තියාගන්න පුළුවන් දේවල් නෙමෙයි. මේව රැස් කරල තියාගන්න පුළුවන් වස්තු නෙමෙයි. මේක මට සදාතනික සැනසීමක් දෙන වස්තුවකුත් නෙමෙයි,මේ ලස්සනට පේන දේ. මේ මිහිරට ඇහෙන දේ. මට සදා සැනසීම දෙන වස්තුවකුත් නෙමෙයි. ඒක දකිනවා. මේ සුගන්ධය, අපි ආඝ්‍රානය කරන මිහිරි ගන්ධයක් ඇත්නම් මේකත් කවදාවත් මං බලාපොරොත්තු වෙන සැනසිල්ල සදාතනික සැනසීමට පත්වෙලා ඉන්න පුළුවන් වස්තුවක් නෙමෙයි. ලබන රසයක් ඇත්නං මේකත් සදාතනික සැනසිල්ලක් දෙන වස්තුවක් නෙමෙයි. ලබන ස්පර්ෂයක් ඇත්නං ඒකත් සදාතනික සැනසිල්ලක් දෙන වස්තුවක් නෙමෙයි. එහෙනං මට පත පතා ගන්න තරං මේකෙ වටිනාකමක් නෑ. හැබැයි වටිනාකම ඉවරෙට බැස්සෙ නෑ. ඔන්න බැහැපු හරිය. මෙබඳු ස්පර්ෂ, නමුත් මේ ස්පර්ෂ සදාකාලිකව සදහටම තියෙන තැනකුත් නෑ. එහෙම ලබා ගෙන ඉන්න පුළුවන් දෙකුත් නෙමෙයි කියල දකිනවා. —
මේ විදිහට මූලික වශයෙන් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ෂ කියන මේ පංච කාමයන් පිළිබඳව ඒවා වටිනවා ඒවා සදාතනිකව නියාගෙන ඉන්න පුළුවන් වස්තු, හරයක් ඇති වස්තු කියන දෘෂ්ඨීය ඉස්සෙල්ලා දුරු වෙනව. දහම් දර්ශනය කිරීමෙන් ලබන්නාවූ මේ පහවීමට කියනවා “දස්සනේන පහාතබ්බ”. දර්ශනයෙන් පහ වෙලා යන හරිය. මෙන්න මේ ටික පහවෙලා ගියාට පස්සෙ “භාවනාය පහාතබ්බ” කියන භාවනාවෙන් කරන කොටස තියෙන්නෙ ඉතුරු ටික කරගන්න. දර්ශනයෙන් පහ කරන හරිය දර්ශනා නොකරපු කෙනෙකුට භාවනාවෙන් පහ කරන හරිය පහ කරගන්න බෑ.
දර්ශනයෙන් පහ කරන කොටස බණ අහල තේරුම් අරගෙන දහම් දර්ශනයෙන් පහ කරගෙන ඉන්න ඕනෙ. ඒක ධර්ම ශ්‍රවනයෙන් කරන එකක්. භාවනා කරල සෝවාන් වෙනව කිව්වොත් එහෙම වෙන්න විදිහක් නෑ. ධර්මයෙ පෙන්නල තියෙන විදිහට ධර්මයට ඔප්පු කරන්න බෑ.
පර්තෝකෝශක ප්‍රත්‍යය, සද්ධර්ම ශ්‍රවනය, කල්යාන මිත්‍ර සම්පත්තිය, යෝනිසෝ මනසිකාරය ආදී වශයෙන් සෝතාපන්න අංග හතරක් තියෙන්න ඕනෙ. ඒ එකක් නැතුව එහෙම සෝතාපන්න වෙන්න බෑ. කිව්වොත් එහෙම ධර්මයට ඔප්පු කරන්න බෑ. ධර්මාවබෝධයට හේතු කාරක තියෙන කෙනෙක්, කල්‍යාන මිත්‍ර සම්පත්තියක් ඇසුරෙදි, සද්ධර්මයක් ශ්‍රවනය කරන වෙලාවක, නුවණින් මෙනෙහි කරමින් ලබන යථාවබෝධය හේතු වෙනව එයාට සෝතාපන්න ඵලය ලබන්න.
අන්න එතෙන්දි එයා දැක ගන්නව මේ හරයක් තියෙන වස්තු තියෙනව කියල කිව්වොත් මේවා ඇත්තද බොරුද? එයා දැනගන්නෙ ඇත්ත ඇති ආකාරයෙන්. ඇත්ත මේකයි කියල දැනගන්නවා. බොරුව මේකයි කියල දැනගන්නවා. මෙන්න මේ ඇත්ත මේකයි බොරුව මේකයි කියල දන්නෙ නැති නිසා ලෝක සත්ත්වයා අසීමිත බලාපොරොත්තු ඇති කරගෙන ඉන්නවා. ඔය දැන ගන්නවාත් සමගම අසීමිත බලාපොරොත්තු බිඳිල යනවා. අන්න ඒ නිසා තමයි කිව්වෙ මහා ගොඩක් අත් ඇරිලා යනව කියල සෝවාන් වෙනකොට.
හැබැයි එයා විඳීමේ බලාපොරොත්තුව ඉවර කලේ නෑ. ඒවා තව තියෙනවා. පංච කාමය විඳීමේ බලාපොරොත්තු ඉවර වෙන්නෑ. කාම රාග පටිඝ දෙක තියෙනවා. ඇලීම තියෙනවනං ගැටීමත් එතන තියෙනව. ඇලීම දුරු කරගත්තෙ නෑ. අන්න ඇලීම දුරු කරගන්න “අබිජ්ජා දෝමනස්ස” දුරු කරගන්න තමයි සතර සතිපට්ඨානය වඩන්න තියෙන්නෙ. එතැන පටන් වඩන දහම. “භාවනාය පහා තබ්බ”. භාවනාවෙන් පහ කරන්න ඒව තියෙන්නෙ එතන ඉඳල. වැඩීමට ඉස්සෙල්ලා තේරුම් ගන්න හරිය තමයි අර මුලිං කිව්ව “දස්සනේන පහාතබ්බ” කියන කොටස. දර්ශනයෙන් පහ කරන කොටස. ඒ දර්ශනය ලබන්නෙ මොන ධර්මයෙන්ද? සුවාසූ දහසක් ධර්මස්කන්ධය කියල අපිට තියෙන්නෙ ඕකට මාර්ගය පාදාගන්න අවශ්‍යය තැනට එන්න. එතෙන්ට ආවට පස්සෙ අපිට ඒකායන මාර්ගයට බහින්න තියෙනව කාටත් තියෙන්නෙ එකම මගක්. ඒකට කියනව ඒකායන මාර්ගය. රාගක්ෂය ද්වේශක්ෂය මෝහක්ෂය කරන යම් මගක් ඇද්ද ඒක ඒකායන මාර්ගය.
අපි ඉන්නෙ විවිධ ආකාර දෘෂ්ඨි වල. ඒකායන මාර්ගයට එන්න ඒ දෘෂ්ඨි කපල ඉන්න ඕනෙ. එක එක්කෙනා එක එක දෘෂ්ඨි වල ඉන්නව. ඒ ඒ දෘෂ්ඨියෙං ඒ අය බිඳහැර ගන්න ඒකට දහම් මගක් දුන්නා. ඒ දහම් මග තුලින් තමන් යන ඒ දෘෂ්ඨිය වැරදියි කියා තේරුම් අරගෙන ඒකෙන් එයා මිදෙනව. අසූහාර දහසක් දෘෂ්ඨි වල මේ ලෝක සත්ත්වයා ගැවසෙනව. එක එක්කෙනා එක එක දෘෂ්ඨියෙ ඉන්නව, අපිට පේන්නෙ නැති උනාට. අති සියුම්. නමුත් බුදු රජානන් වහන්සේ ඒ දෘෂ්ඨිය දැනගෙන ඒකට ගැලපෙන ඒක බිඳින්න අවශ්‍යය එකක් මුලින් දේශනා කරනවා. මෙන්න මේකෙං එයා දෘෂ්ඨිය බිඳ ගත්තට පස්සෙ එයාට එනවා, “ඇත්ත වශයෙන්ම මට තේරෙනවා දැං මං හිටපු දෘෂ්ඨිය වැරදියි. ඒ මග කෙලෙස් සංසිඳුවන්න කෙලෙස් දුරු කරන්න පුළුවං එකක් නෙමෙයි. ඒක මට ඔප්පු උනා මේ දේශනාවෙන්” කියල. අන්න ඒ වෙලාවට එයාට දැනගන්න අවශ්‍යයතාවයක් එනව, “ඉතිං ඒක නෙමෙයි නං මග, කෝකද මග?” අන්න අවශ්‍යය තැනට ආව. ඒකායන මාර්ගය කියා දෙන තැනට ආවෙ ඔතෙන්දි. දැන් අපේ ඉන්න අයට එතෙන්ට එන්න අමුතු ඒවා හොයන්න ඕනෙ නෑ. දැන් පර්යේෂණයක් කර කර ඉන්නෙ. “නිවන් දකින ඒවා එකක්වත් නෑ. අපිට නිවන් දකින එකක් හොයා ගන්න ඕනෙ.” එහෙනං දැං ඉතිං ඕන තැනට ඇවිදිල්ලනෙ ඉන්නෙ.
අන්න එතෙන්දි රාගක්ෂයට ද්වේශක්ෂයට මෝහක්ෂයට ඕනෑ වෙන “යදනිච්චං තං දුක්ඛං යං දුක්ඛං තදනත්ථා” කියන එක දේශනා කරනවා. අන්න “අට්ඨක්කරා තීනිපදා”. අකුරු අටයි පද තුනයි. “අනිච්ච දුක්ඛ අනත්ථ”. මෙන්න නිවන් දකින ධර්මය දේශනා කරන තැන. “යදනිච්චං තං දුක්ඛං යං දුක්ඛං තදනත්ථා” කිව්ව එක විග්‍රහ කරගත්තහම නිවන් දකිනවා. ඔය පොඩ්ඩයි තියෙන්නෙ. එහෙනං බුදු රජානන්වහන්සේ ලඟදි එදා නිවන් දකින්න බණක් අහල ගියාට පස්සෙ අවුරුදු ගානක් බණ ඇහුවෙ නෑ. පැයයි දෙකයි. ජීවිතේට බණ අහල නෑ. බුද්ධ ධර්මය කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති කෙනෙක් තමයි බුදු රජානන් වහන්සේ වැඩ ඉන්න කාලෙදි ඉස්සෙල්ලම ඇවිදිල්ල බණ පදයක් ඇහුවෙ. බණ පදය අහල නැගිටින කොට සෝවාන් වෙලා. එහෙනං මෙතෙන්දි අපිට හොඳටම පේනව නිවන් දකින්න අහන්න තියෙන බණ බොහොම පොඩ්ඩයි. ඒ ටික වැහිලා. ඒ ටික හැඟවිලා. ඒ නිසා අපිට නිවන් දකින්න බෑ. සිද්ධ වෙලා තියෙන්නෙ ඔන්න ඕකයි. අපි හිතං ඉන්නව නිවන් දකින්න බණ හුඟාක් අහන්න ඕනෙ, ගොඩාක් දැන ගන්න ඕනෙ කියල. පුණ්ණා දාසි වගේ අය හුඟාක් අහල ගොඩාක් දැනගෙන නෙවෙයි නිවන් දැක්කෙ. දැන් මෙන්න මේකෙන් අපි තේරුම් ගන්න ඕනෙ නිවන් දකින්න අවශ්‍යය කරන්නෙ ඔන්න ඔය අකුරු අටයි පද තුනයි හරියට තෝර ගන්න එක කියල. ඔතනයි තියෙන්නෙ.
සීලයෙන් තොරව සමාධියක් නෑ සමාධියෙන් තොරව ප්‍රඥාවක් නෑ. මේකත් ධර්මානුකූලයි. හැබැයි එහෙනං සීලය කියන්නෙ වත කියල හිතා ගත්තොත් වැරදියි. ඔතනයි ප්‍රශ‍්නෙ. දස අකුසලයට කියන තවත් නමක් තමයි පංච නීවරණ.
1. කාමඡචන්ද
2. ව්‍යාපාද
3. ථිනමිද්ද
4. උද්ධච්ඡ කුක්කුච්ඡ
5. විචිකිච්චා
කියන මෙන්න මේ නීවරන පහ යම් තැනකද, දස අකුසලේ කෝක හරි එතන. එක්කො ප්‍රාණ ඝාත චේතනාවක් තියෙන්න ඕනෙ. එක්කො අදත්තාදාන චේතනාවක් එක්කො කාම මිත්‍යාචාර චේතනාවක් නැගිල තියෙන්න ඕන. එක්කො මුසාවාද පිසුනාවාච පරුෂා වාච සම්පප්‍රලාප චේතනා නැගෙන්න ඕන. එක්කො ලෝභ ද්වේෂ මෝහ චේතනා නැගෙන්න ඕන. මේ හිතෙන් කයෙන් වචනයෙන් යම් අකුසලයකට චේතනාවක් පහල වෙවී ඉන්න යම් මොහොතක් ඇත්නම් ඒ මොහොත තුල අපි ඉන්නෙ පංච නීවරන තුල. නැත්නං දස අකුසල් තුල. එහෙනං මේ දස අකුසලයෙන් වෙන් වෙච්ච වෙලාවක අහන බණ තමයි තේරෙන්නෙ. පංච නීවරන දුරු වෙච්ච වෙලාවක කියන බණ තමයි වැටහෙන්නෙ. පංච නීවරන සහිතව බණ ඇහුවට තේරෙන්නෙ නෑ. තව විදිහකින් කියනවනම් දස අකුසල චේතනාවකින් යුක්තව ඉඳගෙන බණ ඇහුවට තේරෙන්නෙ නෑ. එහෙනං බුදු රජානන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් පහන් හිතින් ධර්මාවබෝධය ලබාගන්න බලාපොරොත්තුවෙන් බණ අහන්න ඉඳගත්ත වෙලාවෙ ඔහුට ඔය එකක්වත් නෑ කියල. ප්‍රාණඝාත වතක් සමාදන් වෙලා නැති කෙනෙක් මම අද කොහොම හරි මේ නිවන් දකින බණ අහන්න ඕන තෝර ගන්න ඕන කියල ඕන කමකින් විසාල අවශ්‍යයතාවයකින් ගෞරවයෙන් ඒ බණ පදයක් අහන්න ඉඳගෙන චිත්ත ප්‍රසාදයකින් ඉන්න වෙලාවක ඔහු ලඟ ඔය දස අකුසල චේතනාවම නෑ. එහෙනං ඔහු පංච නීවරණයෙන් ඉවත් වෙලා ඉන්න තදංග ප්‍රහානය කරල ඉන්න වෙලාව. තද් අංගය හෙවත් ඒ මොහොතෙදි ඔහුට පංච නීවරන දුරු වෙනවා. එහෙනං පංච නීවරණයෙන් තොරවූ චිත්ත ස්වභාවයක් අන්න ඒ වෙලාවෙ තියෙනවා. මෙන්න සමථයට පත් වෙච්ච සිතක්. තදංග සමථය. ඔය තියෙන්නෙ. මෙන්න මේ තදංග සමථයෙන් යුක්ත වෙලාවෙ තමයි දැං මේ බණ අහන්න ඉන්නෙ. මෙතන සමථය තියෙනව.
දැන් සමථයයි ධ්‍යානයයි දෙකත් පටලවාගෙන. ධ්‍යාන වලට සමථ කියනවයි කියල. නීවරණ සමථයට පත් කරන හෙයිනුයි සමථ කියන්නෙ. එහෙනං දැං මේ නීවරණ සමථයට පත්වෙලා තියෙන වෙලාව නම් මේ තදංග සමථය. විෂ්කම්භන සමථය වෙලා තියෙන්නෙ ධ්‍යාන ලාභියෙකුට. සමුච්ඡේද සමථය වෙලා තියෙන්නෙ මාර්ග ඵල ලාභියෙකුට. එහෙනං අද මේ ඉන්නෙ තදංග සමථයෙන් යුක්ත වෙන වෙලාවෙ. විදර්ශනාවට අපට කොහොම හරි ඕන සමථය. විදර්ශනාව නගා ගන්න සුදුසු වෙලාව සමථයෙ තියෙනව. විදර්ශනාව නගා ගන්නකොට ලෝකයෙ යතාර්ථය විශේෂයෙන් දකින්න ඕනෙ. අපි දකින්නෙ වෙන ක්‍රමයකට. ඒ දකින ක්‍රමය මුලා ක්‍රමය. අවිද්‍යා සහගත ක්‍රමය. අපිට විද්‍යා සහගත ක්‍රමයෙං දකින්න සුදුසු වෙලාවක් දැං ආවෙ.
අවිද්‍යාව තියෙන්නෙ කොතනද? නිච්චයි සුඛයි ආත්මයි කියන දෘෂ්ඨියෙ ඉන්නකං අවිද්‍යාව. අනිච්චයි දුක්ඛයි අනත්ථයි කියන තැන විද්‍යාව පැත්ත. විද්‍යාව පැත්තට එන්න විදර්ශනය කරන්නෙ ඔතෙන්දි. ඉස්සෙල්ලා විදර්ශනයට අවශ්‍යය වෙනවා අනිච්ච දුක්ඛ අනත්ථ තේරුම් ගැනීම.
“යදනිච්චං තං දුක්ඛං යං දුක්ඛං තදනත්ථා” කිව්ව එක තෝරගන්න ඕන. අද වහල තියෙන පළවෙනි ධර්මය. නිවන් මග වහල කිව්වෙ ඔන්න ඔතනයි. යමක් අනිත්‍යනම් ඒක දුකයි. යමක් අනිත්‍යනම් දුක නම් ඒක අනාත්මයි. අද හැම තැනම තෝරන්නෙ ඔහොම නේද? අර යෝනිසෝ මනසිකාරය ඒ කියන්නෙ නුවණින් මෙනෙහි කිරීම අවශ්‍යයිනෙ සෝවාන් වෙන්න. දැං පොඩ්ඩක් අපි හිතල බැලුවද? යමක් අනිත්‍යනං ඒක දුකයි කියන එක අපි කිව්ව හැටියට පිළි අරගෙන අරගෙන තවත් ඉන්නව මිසක්, අපි පොඩ්ඩක් කල්පනා කරල යෝනිසෝ මනසිකාරයෙන් කියන්නෙ නුවණින් මෙනෙහි කරල බැලුවද ඒ කියන කතාව ඇත්තද කියල?
“යදනිච්චං තං දුක්ඛං” කියන පාලි පෙල දහම, පෙල දහම එහෙම වැරදි නැහැ. සර්ව සම්පූර්ණයෙන් හරි. නමුත් සිංහල තේරුමත් පෙල දහමද? නෑ, ඒක ආචාර්ය වාදයක්. පාලි දැනගත්ත ආචාර්යවරු පදයට අර්ථයක් දුන්න. ඒගොල්ලන්ට වැටහිච්ච හැටියට කිව්වා යමක් අනිත්‍යනම් ඒක දුකයි කියල. “යදනිච්චං තං දුක්ඛං” කියන එකට සිංහල පාලි දැනගත්ත ආචාර්යවරයා මේකෙ අර්ථය “යමක් අනිත්‍යනම් ඒක දුකයි” කියල කියා දුන්නා. අපි අද ඉගෙන ගන්න සිංහල බණට තියෙන්නෙ යමක් අනිත්‍යයනම් ඒක දුකයි කියල අහපු එක. ඉතිං අපි ඕක ඇත්තද කියල පොඩ්ඩක් පරීක්ෂණයක් කරල බැලුවනං අන්න හරි.
දැන් යමක් කිව්වහම මේ ලෝකෙ පවතින කිසි දේකිං ඉතුරු වෙච්ච අත් ඇරිච්ච එකක් තියෙනවද? ඔක්කොම අහුවෙලා නේද යමක් කියන එකට? හොඳයි මුළු පංචස්කන්ධයම දුක්ඛස්කන්ධයක් කියල බුදුරජානන් වහන්සේ දේශනා කලානෙ. මේ ලෝකය දුකෙන් පිරිල තියෙන්නෙ. “දුක්ඛෝ ලෝකේ පතිට්ඨිතා” ලෝකය දුකේ පිහිටලා තියෙන්නෙ. එහෙනං මේ පංචස්කන්ධයට අයිති ටික බැලුවත් යමක් කියන එකට අයිති හැමදේම බැලුවත් දුකෙන් පිරිච්ච සියල්ලමත් යමක් කියන එකේ තියෙනව. විශාල වශයෙන් මේ ලෝකෙ පැවැත්මෙ තියෙන්නෙ ඔක්කොම දුකෙන් පිරිලා. අපි දන්නෙ නෑ ඒක එහෙම බව.
යමක් ස්ථිර නැත්තං ඒක දුකයි. ඔහොමනෙ තෝරන්නෙ. අපි හිතමුකො අංශභාගය අයිති මොකේටද? යමක් කියන එකට අයිති නැද්ද? පිළිකාවත් අයිතියි නේද? අනිත්‍යයි කියන්නෙ ස්ථිර නෑ කියල ගත්තොත් යමක් ස්ථිර නැත්නං ඒක දුකයි. ඒ කියන්නෙ අංශබාගෙ පිළිකාව ස්ථිර නං සැපද? ස්ථිර නැත්තං දුකද? යමක් ස්ථිර නැත්තං ඒක දුකයි කියනව. අංශබාගෙ පිළිකාව ස්ථිර නෑ කියන්නෙ හොඳ කරන්න පුළුවන්. එතකොට ස්ථිර නං එහෙම හොඳ කරන්න බෑ. ස්ථිර නැත්තං බේතක් බීල හරි කොහොම හරි හොඳ කර ගත්තැහැකි.
යමක් ස්ථිර නැත්තං ඒක දුකයි කියන්නෙ ස්ථිරනං සැපයි නේද? ඒකෙ අනිත් පැත්ත යමක් ස්ථිර නැත්තං ඒක දුකයි. යමක් ස්ථිර නං සැපයි. විය යුත්තෙ ඒකනෙ. අංශබාගෙ පිළිකාව ස්ථිර නැත්තං දුකද? ස්ථිර නැත්තං අංශබාගෙ පිළිකාව හොඳ කරගන්න පුළුවන්නෙ. ස්ථිර නං අංශබාගෙ හොඳ කරගන්න බෑ. පිළිකාවත් හොඳ කරගන්න බෑ ස්ථිර නං. එහෙනං ස්ථිර නං සැපද? අංශබාගෙ පිළිකාව හොඳ කරගන්න බැරිනං සැපද? හොඳ කරගන්න පුළුවන්නං ඒක දුකද? එහෙනං කෝ, යමක් ස්ථිර නැත්තං ඒක දුකයි කියන එක ඇත්තද?
මේ සංසාර ගමනක් තියෙනවා. අනාථ සසර ගමන. කොහේ උපදින්න වෙයිද දන්නෑ. යන ගමන කොහේ යන්න වෙයිද දන්නෑ. වැඩි හරියක් යන්නෙ සතර අපායෙ. කලාතුරකින් මිනිසත් බවක් ලබනවා. ලබාගෙන ඉවරවෙලා බොහොම අමාරුවෙන් බේරිලා ඕනෙ ඒකෙ යන්න. එතකොට අපිට බැරිවෙලා හරි මේ සංසාර ගමන, මේ දුක්ඛිත සංසාර ගමන ස්ථිර නැත්තං ඒකත් දුකද? අපි නිවන් අවබෝධ කරගන්නෙ සසර දුක නිවා ගන්න. ඒ දුක ස්ථිර නැත්තං නේද? යම් තැනක දුක කියන දේ ස්ථිර නං දුක් මාර්ගය ස්ථිර නං අපිට පුළුවන්ද මිදෙන්න? දුකෙන් මිදෙන්නත් පුළුවන්ද? ස්ථිර නැත්තං නේද අපි දුකෙන් මිදෙන්නෙ? එහෙනං දුක කියන එක ස්ථිර නැති නිසාම නේද අපි දුකෙන් මිදෙන්නෙ? ඒක දුකද? ඒක නේද සැප? යමක් ස්ථිර නැත්තං ඒක දුකයි කියන එක මොන ධර්මයටද ගැලපෙන්නෙ? ධර්මයට ගැලපෙනවද? ඔන්න ධර්මයට බහා බැලුව. ගැලපිල නෑ.
ඉතිං එහෙමනං තව දුරටත් අපි ඒ වචනෙ දරාගෙන හිටියොත් මේක ඇත්ත කියල විනයට බහා බලපුවහම දරා හිටින්න එකක් තියෙනවද? දරන්න ගැලපෙනවද? විනයට සැසඳෙන්නෑනෙ. “ධර්මයට බහා බලන්න. විනයට සසඳා බලන්න. ධර්මයට බහා හිටින්නැත්තං විනයට සැසඳෙන්නැත්තං බුද්ධ දේශනාවක් නෙමෙයි කියල අයිං කරන්න.” බුදුරජානන් වහන්සේ සතර මහා ප්‍රවේශය, සූත්‍ර වල දේශනා කරනව පැහැදිලිව. දැං අපි යමක් ස්ථිර නැත්තං ඒක දුකයි කියන වචනය ධර්මයට බහා බැලුව විනයට බහා බැලුව. බහා බලපුවහම බහා හිටින්නෑ. එහෙනං පේනව බහා හිටින්නැත්තං ඒක දෘෂ්ඨියෙන් බැලුවොත් මිත්‍යා දෘෂ්ඨියක්. එහෙනං මිත්‍යා දෘෂ්ඨිය දරා හිටින්න වටිනවද? විනයට හික්මවා ගන්න වටිනවද? හික්මෙන වගක් නොවෙයිනං ගත්තොත් මොකද වෙන්නෙ? හික්මෙන්න විදිහක් නෑ. මොකද, මිත්‍යා දෘෂ්ඨියකින් කොහොමද හික්මෙන්නෙ? මිත්‍යා සමාධියක් එනව මිසක් සම්මා සමාධියක් එනවද?
සම්මා දිට්ඨිය කියල සම්මා සමාධියක් තියෙනවා. සම්මා සමාධිය සම්මා ඥාන සම්මා විමුක්තිය ලබල නිවන් දකිනව. සම්මා සමාධි ලබන්න සම්මා දිට්ඨියෙන් ආරම්භ කරන්න ඕනෙ. සම්මා දිට්ඨියක් ඇති තැනයි සම්මා සංකල්පනාවක් එන්නෙ. සම්මා වාචා සම්මා කම්මන්ත එන්නෙ එතනයි. සම්මා ආජීව හැදෙන්නෙත් වායාම සති සමාධි හැදෙන්නෙත් එතන. සම්මා දිට්ඨි නැත්තං එයිං මෙහා ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ එකක් වත් වඩන්න බෑ. වැඩෙන්න විදිහක් නෑ. මුලදිම අපි සම්මා දිට්ඨියට පත්කරන තැන කෑවොත්, ඔය විදිහට වැරදි අදහසක් ගත්තොත් අපිට පුළුවන්ද ඉං එහාට නිවනක් ගැන කතා කරන්න? දැං නිවන ගැන කතා කරන්න දෘෂ්ඨිය පිරිසිදු වෙන්න ඕනෙ ඉස්සෙල්ල. සම්මා දිට්ඨි ඇති කරගන්න ඕනෙ.
සම්මා දිට්ඨි ඇති කරගන්න නං “යදනිච්චං තං දුක්ඛං” කියන වචනයෙ නියම අර්ථය ගන්න ඕනෙ. යමක් අනිත්‍යය නං ඒක දුකයි කියල අර්ථය සිංහලට තෝරන්න ගියාට පස්සෙ අපිට සිද්ධ උනේ මොකක්ද? යතාර්ථයෙන් පිට පනින්න සිද්ධ උනා. දැං අපිට එන්න විදිහක් නෑ සම්මා දිට්ඨියට. යමක් ස්ථිර නැත්තං ඒක දුකයි කියන දෘෂ්ඨියක අපි පිහිටල ඉන්නව.
යමක් නිසා යමක් වෙනවද කිව්වොත් දෙකක්නෙ ඒක. අනිත්‍ය ලක්ෂණය තියෙනව. දැං හිතන්න මෙහෙම. දුක්ඛ ලක්ෂණය වැටහෙන්නෙ හිතට. අනිත්‍ය ලක්ෂණය තියෙන්නෙ මොකේද? ද්‍රව්‍යවල නේද? යම් ද්‍රව්‍ය වස්තුවක් හෝ බාහිර දෙයක් තියෙනව නං ඒ යමක් කිව්ව යමක නේද අනිත්‍ය ලක්ෂණය? දැං හිත කියන්නෙ යමක් කියන්නකො. යමක් කිව්වහම හිතත් අයිතිනෙ. නාම ධර්මත් අයිතිනෙ. නාම ධර්ම හෝ රූප ධර්ම යන යමක් වේ නම්, ඒවයෙ අනිත්‍ය ස්වභාවය තියෙනව. එතකොට ඒ යමක් අනිත්‍යනං ඒක අල්ලන්න ගියහම නේද දුක ඇති වෙන්නෙ? දුක්ඛ ස්වභාවය තියෙන්නෙ අල්ලන්න යන මානසිකත්වය තුලනෙ. එහෙනං ඒක දුරු කරගන්න පුලුවං. දුක්ඛ සංඥාවක් අපිට ඇතිවෙන්නෙ මානසිකත්වය තුල. ඒක ගොඩ නැගෙන එකක්. එහෙනං දුක්ඛය කියන්නෙ අපි ගොඩනගාගන්න එකක්. ද්‍රව්‍ය වස්තු වල තියෙන එකක් නෙමෙයි. ද්‍රව්‍ය වස්තු වටිනව කියල අල්ල ගත්තු දෘෂ්ඨිය නිසයි අපිට ඒ දුක්ඛයට භාජනය වෙන්න වෙන්නෙ. එහෙනං අනිත්‍ය ලක්ෂණය තියෙන්නෙ මොනව හරි සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු වලට අයිති නාම ධර්ම රූප ධර්ම තුලනෙ. ස්ථිර නැති නිසාම දුක්ඛ ස්වභාවයක් ගොඩනැගෙනව කියන එකයි මේ අහන්නෙ.
දැං දුකට හේතු වන දේවල් ස්ථිර නැති නිසා, ඒක අපි දන්නව. ඒකත් ස්ථිර නෑ. ඒ දුකට හේතු වන දේවල් ස්ථිර නැත්තං ඒ නිසාත් අපිට දුකක් ගොඩ නැගෙනවද? අන්න ඒකයි ප්‍රශ්නෙ. ප්‍රියමනාප ප්‍රියමධුර යමක් ඇත්නං ඒක වෙනස් වුනොත් අපිට දුක එනව. අප්‍රිය අමධුර යමක් ඇත්නම් ඒක වෙනස් උනොත් දුක එන්නෙ නෑනෙ. එහෙනං අනිත්‍ය නිසා දුකයි කියල ගත්තොත් අහුවෙන්නෙ එක කොටසයි. ප්‍රිය ස්වභාවය මධුර ස්වභාවය තියන යමක් ස්ථිර නැති නිසා ගෙවිල යනවනං අපිට ඒක සැප වෙන්නෙ නෑ. අප්‍රිය අමධුර දෙයක් ගෙවිල යනවනං අපිට සැපක් දැනෙයි.
“යං ලෝකෙ ප්‍රිය රූපං සාත රූපං” . බුදු රජානන් වහන්සේ දේශනා කරන්නෙ “සියල්ල දුකයි කියල ගන්න එපා. ප්‍රිය ස්වභාවයක් තියෙනවා මධුර ස්වභාවයක් තියෙනවා.” “එත්තේසා තන්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ත නිවීසමානා නිවීසති”. මේ තෘෂ්ණාව එතනයි උපදින්නෙ එතනයි පවතින්නෙ. ඒ ප්‍රිය ස්වභාවය මධුර ස්වභාවය “දුක්ඛ සමුදය”, දුකට හේතුව. සියල්ල දුකෙන් පිරිල නෙමෙයි. ලෝකේ යම් දුක්ඛයක් ඇත්ද මේ දුකට හේතුවක් තියෙනව. දුකට හේතුව දුක නෙවෙයි. දුකට හේතුව ප්‍රිය ස්වභාවය මධුර ස්වභාවය. එහෙනං බුදු රජානන් වහන්සේ අහනව යමක් මේ ලෝකේ ප්‍රිය ස්වභාවයක් මධුර ස්වභාවයක් නැත්නම් ලෝක සත්ත්වයා ඇලෙනවද? මේකෙ ආදීනවයක් නැත්නං ලෝක සත්ත්වයා මිදෙනවද? ප්‍රිය ස්වභාවයක් මධුර ස්වභාවයක් ඇති නිසාමයි ලෝක සත්ත්වයා මේ ලෝකෙට ඇලෙන්නෙ. ඒක දුක නෙමෙයි. ඒ ඇලෙන්න ගියාට පස්සෙ ඇලුනෙ මොකේද අනිච්ච ස්වභාවය අන්න ඒකෙ තියෙනව. අනිච්ච ස්වභාවය හරියට තේරුම් ගත්තනං එතෙන්දි දැකගන්නව ඒකයි දුකට හේතුව කියල.
ඔතන අනියතං කියන වචනෙ අර්ථය අනිච්ච කියන වචනයට දීල තියෙනව. “ජීවිතං අනියතං මරණං නියතං”. ජීවිතය ස්ථිර නෑ මරණය ස්ථිරයි. අපි අනිච්ච කියන වචනෙට මේ ස්ථිර නැත්නං කියල දෙන වචනෙ වැරදියි. ස්ථිර නැත්තං කියන ඒකට වචනය අනියත. ඔතන තියෙන්නෙ අනිච්ච. අනිච්ච කියන්නෙ? ඉච්ච කියන්නෙ කැමැත්ත.
අනිච්ච කියන්නෙ කැමැත්තට නෑ. මෙන්න හේතුව. යමක් කැමති සේ නැද්ද ඒක දුකයි. දැං කල්පනා කරමු. අපිට දුකක් එනව. කැමතිද? නෑ එන්නැද්ද? එනවනෙ. දුකට කැමති නෑ. නමුත් දුක එනවනෙ. අපිට කැමති යමක් වැනසෙනවට කැමති නෑ. නමුත් වැනසෙන්නැද්ද? වැනසෙනව. ආං එතකොට එතන ඉච්ච සේ තියෙනවද? අන්න අනිච්චයි. අනිච්චයි කියන්නෙ ඉච්ච සේ නෑ. කැමති සේ නෑ. අපිට සැපක් එනව. පවතිනවද? ගෙවිල යනව. කැමතිද ඒකට? කැමති නෑ. නමුත් වෙන්නැද්ද? ගෙවිල යනව. එහෙනං දුක යන යමක් ඇද්ද සැප යන යමක් ඇද්ද කැමති සේ නෑ. මෙන්න අනිච්ච. ඉච්ච සේ නෑ. එහෙනං මේ ලෝකෙ ප්‍රිය ස්වභාවයක් මධුර ස්වභාවයක් කියල දුකට හේතුවක් තියෙනව. හේතුවෙන දේ ප්‍රියයි මනාපයි. ඒක කැමති සේ නෑ. අන්න ඉච්ච කියන්නෙ කැමැත්ත. එතකොට අනිච්ච කියන්නෙ කැමැත්තට නෑ. එහෙනං දුක එනව. කැමති නෑ නමුත් එනව. කැමති නැති දුක එනව කැමති සැප යනව. ඕක නේද වෙන්නෙ? මෙන්න ධර්මතාවය. කැමති නැති දුක අපි කරා එනව. කැමති සැප අපෙන් යනව. මෙන්න මේ නිසා කියනව හැම දෙයක්ම ඉච්ච සේ නෑ. යමක් අනිච්චද කිව්වෙ ඔන්න ඕකයි. යමක් කැමත් සේ නැද්ද ඒකයි දුක. “යං පිච්චං න ලපති තම්පි දුක්ඛං” කිව්වෙත් ඔන්න අනිච්ච කිව්වෙ ඔතනයි තියෙන්නෙ. ඒක තමයි විග්‍රහ කරල තියෙන්නෙ “යං පිච්චං න ලපති තම්පි දුක්ඛං” කියල. දැං ඒ වෙනුවට අද මොකක්ද ගන්නෙ? අන්න වරද්ද ගත්තු තැන.
අපි දැනගන්න ඕනෙ යමක් කැමතිසේ ලබන්න බැරිනං අන්න ඒකයි දුක. ඒක තමයි අනිච්ච කිව්වෙ. අනිච්චනං දුකයි කිව්වෙ ඔන්න ඕකටයි. එහෙනං අපි යමකට කැමති වෙනවනං ඇයි කැමති වෙන්නෙ? මේ ලෝකෙ හරයක් තියෙනව කියල අපේ මුලාවක් තියෙනව. වැදගැම්මක් තියෙන ලෝකයක් කියල අපේ හිතීමක් තියෙනව. මෙන්න අවිද්‍යාව. ඔය අවිද්‍යාව නිසාම අපිට මේ ලෝකෙ කැමැත්තෙන් පවත්වන බලාපොරොත්තුවක් එනව. ඒ අවිද්‍යාව තියෙන තාක් කල් අපිට කැමැත්ත අයිං කරගන්න බෑ. කැමැත්තට තියෙන්නෙ මොකක්ද? හොඳිං ඉන්න? මට ඕන හැටියට පවත්ත ගන්න? කැමැත්තෙං පවත්ත ගන්න දෙයක් එතන යෙදිල තියෙනවද?
ලෝකෙ ධර්මතාවයක් තියෙනව. කොච්චර අකමැති උනත් දුක, කරදර අපි කැමති නැති ඒවා අපිට එනව. ඒක වලක්වන්න බෑ. අපි කොච්චර කැමති උනත් අපි බලාපොරොත්තු වන සැප යනවා. ඒක වලක්වන්න බෑ. මෙන්න ධර්මය. ඔය ධර්මය තේරුම් ගන්න එකට තමයි කිව්වෙ ධර්මාවබෝධය ලබනවා කියල. ධර්මාවබෝධය තියෙන්නෙ ඔය පොඩ්ඩෙ. ඕකෙං අහක් වෙච්ච ලෝකයක් නෑ. මුලු ලෝකෙම දැනගන්නව. මේ ලෝකෙ කොතන මොනව හොයල බැලුවත් අන්තිම ට බලපුවහම තියෙන්නෙ මොකක්ද? අකමැති වන්නාවූ දුක එනව. කැමති සැප යනව. මම මගේ කියල එකක් මේ ලෝකෙ අපි ඇල්ලුවට ඕකෙ අල්ලන්න එකක් තියෙනවද?
ඔන්න ඕක ඇත්තද බොරුද කියල පොඩ්ඩක් හිතල බලන්න යෝනිසෝ මනසිකාරයෙන්. හිතල බලනකොට අපිට තේරෙන එකක් තියෙනව. සර්ව සම්පූර්ණයෙන් ඒ කතාව ඇත්ත. බුද්ධ දේශනාව ඔන්න ඕකයි. ඕක අයිං කරන්න ක්‍රමයක් නෑ. වෙනස් කරන්න බෑ කාටවත්. අපි අකමැති දේවල් එනව කැමති දේවල් යනව. නවත්තන්න බෑ. එහෙනං කැමති සේ නෑ. අන්න සිද්ධ වෙන දේ. ඉතිං ඕක සිද්ධ වෙන්න හේතුව මොකක්ද? ඇත්ත දැක්කට පස්සෙ ඔහොම ධර්මතාවයක් ඇති දෙයක් කැමති සේ පවත්තන්න අපි කැමති වෙනවද? ඉවරයි නේද එතනම?
අන්න ආත්ම දෘෂ්ඨිය නිසා තමයි අපි කැමති සේ පවත්තන්න හදන්නෙ. ආත්ම දෘෂ්ඨියක් අපිට තියෙන නිසා තමයි බැරි එකක් කරන්න හදන්නෙ. අපි හිතා ඉන්නව කැමති සේ පවත්තන්න බැරි දේ කැමති සේ පවත්තන්න. මම පවතින්න මගෙ ඒවා පවත්තන්න කැමතියි. නමුත් කැමති සේ පවත්තන්න බැරි දෙයක් මේ පවත්වන්න හදන්නෙ. ඉතිං මේ ධර්මතාවය තේරුම් ගත්තට පස්සෙ අපි අයි සැරයක් දඟලනවද මම කැමති සේ පවත්වන්න? කොහොම හරි හදන්න ඕනෙ කියල දෘෂ්ඨියක් එහෙම තියෙයිද? මගෙ කියල ගන්න දෙයක් කැමති සේ පවත්තන්න පුළුවං කියන දෘෂ්ඨියක් තිබුනනං දැං ඉතුරු වෙනවද? ඔන්න ධර්මය දැක්ක දාට යතාර්ථය දැක්ක. බුද්ධ දැක්ක. අන්න අවබෝධය. සත්‍යාවබෝධය තියෙන්නෙ ඔතනයි. ලොකු දේක නෙවෙයි.
එහෙනං අපි දකින්න ඕනෙ කැමති සේ පවත්තන්න බෑ. ඔය පොඩ්ඩ තෝර ගන්න ඕනෙ. ඇයි බෑ කියන්නෙ. අපි අප්‍රමාණ සංසාරෙ පෙර විසූ කාලය තාම දැක්කෙ නෑනෙ. තාම අපිට දිවැසක් තිබුනෙ නෑනෙ දකින්න. ඔය අතරතුර කැමති සේ පවත්ව ගන්න පුලුවං තැනක් අපිට කවද හරි හම්බ වෙලා තිබුනනං අපි එතන ඒක පවත්ව පවත්ව ඉන්නව නේද? එහෙම එකක් මේ අනන්ත සංසාරෙ තිබුනනං දෙවියෙක් වෙලා මනුෂ්‍යයෙක් වෙලා බ්‍රහ්මයෙක් වෙලා කොහෙ හරි අත්බැවක් ලබාගෙන හිටියනං, අපිට කැමති සේ පවත්වන්න පුළුවං මමෙක් හම්බ වෙලා තිබුනනං ඔය කොතනක හරි, අපි ඒක කඩාගෙන එනවාද? එහෙනං ඒ කාලෙ මගේ කියල යමක් හදා ගත්තානං එල්ලිලා ඉන්නවා නේද? ඒත් නෑ නේද ඒක? කෝ ඒ වස්තුව අද? එහෙනං මෙච්චර කාලෙකට මේ සංසාර ගමනේ කැමති සේ පවත්වන්න හෙවත් ඉච්ච වස්තුවක් හම්බ වෙලා නෑ. අන්න, ධර්මතාවය ඒකනෙ. අපි බලාපොරොත්තු උනේ ධර්මතාවයට පහර ගහල ධර්මතාවයට වෙනස් දෙයක් ගොඩනගා ගන්න. නමුත් අපි ධර්මතාවය ජය ගත්තද? මෙච්චර කාලයක් අනන්ත සංසාරෙ කිසිම සත්ත්වයකුට ජය ගන්න හම්බ උන්නැති එකක්. මොකද හේතුව? ඒක තමයි ධර්මතාවයක් තියෙනවා, නියමයක්. ඒ නියාම ධර්මතාවය ජය ගන්න බෑ. අන්න නියාම ධර්මතාවය මොකක්ද? අනිච්ච ධර්මතාවය. අනිත්‍ය එක නෙමෙයි. අනිච්ච ධර්මතාවය. අන්න අනිච්ච කියන වචනෙට අනිත්‍යයි කියල දීල තියෙනව. අනිත්‍යයි අනිච්චයි කියන්නෙ දෙකක්, අන්න තෝර ගන්න ඕනෙ. අනිච්ච තෝර ගත්ත දාට ධර්මය තෝර ගත්ත. ධර්මය දැක්කා. ඉච්ච සේ නෑ. ඔය ටික පොඩ්ඩක් අපි හිතන්න පටං ගත්තනං මම අකමැති දෙයක් සිද්ධ වෙනකොට, “ඉතිං ඒක නේන්නං ධර්මතාවය, මම කැමති උනාට හරි යනවයැ? මේක මෙසේ තිබිය යුතුයි කිව්වට හරි යායැ. එහෙම එකක් තියෙනවායැ? නවත්තන්න බෑනෙ” ඒ වගේ දෙයක් අපි දකිනවා. ඒ දැක්කට පස්සෙ අපි ධර්මානුකූලව යතාර්ථයෙන් තේරුම් ගත්තානං මොනම හේතුවකිං වත් කවර ආකාරයකින්වත් කුමන පුද්ගලයෙකුටවත් මේ කැමතිසේ නොපවතින ධර්ම ස්වභාවය වෙනස් කරන්න බෑ කියල, අපි කාටවත් නැමෙනවද, කාටවත් කියනවද අනේ මේක මෙසේ හදලා දෙන්න කියලා? ඒ කියන පුද්ගලයට තියන එකත් කැමති සේනෑ. කාට කියන්නද?
අන්න එදාට අපි නිගමනයක් කරනව. මේ ලෝකෙ තුල දෙවියො හිටියත් බ්‍රහ්මයො හිටියත් මනුෂ්‍යයො හිටියත් සක්විති රජවරු වෙලා හිටියත් මොන ජාතියෙ විද්‍යාඥයො හිටියත් මොන පණ්ඩිතයො හිටියත් කවුරු හිටියත් කිසිම කෙනෙකුට කැමති සේ පවත්වන්න විදිහක් නෑ පැවැත්ම තුල. එහෙනං පැවැත්ම තුල බලපුවහම අනාථයි. පැවැත්මෙ අල්ලන්න දෙයක් නෑ. නාථත්වයක් හොයාගෙන දඟලන්නෙ මේ අනාථයකනෙ. ඔන්න මූලධර්මය. දැං ඕක බොරු කරන්න කිසිම සමතෙක් ලෝකෙ නෑ. “සබ්බේ සංඛාරා අනිච්චා” එතකොට සංඛාරත් අනිච්චයි. කැමති සේ නෑ. අපි කැමතියි යම් තත්ත්වයකට. ප්‍රිය ස්වභාවයක් මධුර ස්වභාවයක් නොකැඩී නොබිඳී විනාශ නොවී අපි කැමති සේ පවතිනව නං කැමතියි. නමුත් එහෙම කැමති සේ පවතින ලෝකයක් නෑ. ඒ ලෝකෙ හැටි. ඔන්න ලෝක ධර්මතාවය. ඔන්න ඕක ඉස්සෙල්ලා දකින්න ඕනෙ. ඔන්න ධර්මය දැක්ක කියන්නෙ ඕක දැක්කහම. ඇලීම තමයි දුකට හේතුව. අන්න ඒකයි දුකට හේතුව වෙන්නෙ. ඇලීම ඇති වෙන්නෙ මොකද?
අපි ඇලුම් කරන්න හේතුවක් තියෙනව, මේ විද්‍යාව දැක්කෙ නැති නිසා. මේ විද්‍යාව වැහිල තියෙන්නෙ. මේකයි විද්‍යාව. කැමති සේ නෑ. නමුත් අපි කැමති සේ නෑ කියන එක පිළිගන්නෙ නෑ. අපි කැමති සේ හදන්න කොහොම හරි බලනව. උත්සාහ කරනව. කැමති සේ ගොඩනගා ගන්න හදනව. කැමති සේ ගොඩ නගන්න හදන්නෙ. අන්න ඒකට කියනව අවිද්‍යාව. ඔන්න ඔය අවිද්‍යාව නිසා තමයි “තං දුක්ඛං”. ඔන්න ඔය දුකට හේතුව ඒක. ඔය දුක එන්නෙ අන්න ඒකෙන්. චතුරාර්ය සත්‍යය දකින්නෙත් ඔතනින්. දකින මග ඕකනෙ. චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්නෙ මේ ධර්මය තුලින්. ලෝකය තුල ඇති දේවලට කැමැත්ත ඇතිවෙන තාක් දුක. එතකොට කැමැත්ත ඇතිවෙන්නෙ අවිද්‍යාව නිසා. මේ ටික තේරෙන්නෙ නැති නිසා. ඕක තේරුම් ගන්න නම් මේකෙ යතාර්ථය, අනිච්චතාවය තෝරගන්න ඕන. අකමැති ඒවා එනව. කැමති නෑ නමුත් එනව. කැමති ඒවා යනව. කැමති නෑ, නමුත් යනව. ඕක ධර්මතාවය.
ඔය ධර්මතාවයෙන් පිට පැනිච්ච ලෝකයක් කිසි තැනක නෑ. ඕක ජයගත්ත පුද්ගලයෙක් ලෝකය තුල නෑ. ඉන්න විදිහකුත් නෑ. මෙච්චර කල් හැදිලත් නෑ. දැං මෙන්න මේ ධර්මතාවය දැන ගත්තහම එකක් වෙනව. ඕක දකින්නැති තාක් කල් කැමති සේ පවත්තන්න පුළුවන් යමක් ගැන අපි දෘෂ්ඨියක් තියං ඉන්නව ඒක මිත්‍යා දෘෂ්ඨියක්. ඔන්න ඔය මිත්‍යා දෘෂ්ඨිය අපිට වද දෙන්න පටං ගන්නව කොහොම හරි මේක කැමති සේ පවත්තන්න. අන්න ඒ වෙලාවෙදි අපි උත්සාහ කරනව, දඟලනව කැමති සේපවත්වන්න. ඒ කැමති සේ පැවැත්වීමට කරන උත්සාහය නිසා අපි වෙහෙස විඳිනව මිසක් අපිට පුළුවං කමක් නෑ ඒකෙන් ගොඩ එන්න.
අපි “සං” කියන මේ ගොඩවල්, “සං” කියන්නෙ එකතුව. එකතුව හදාගන්න හෙවත් සංඛාර කරන්න අපි දුක් විඳිනව. ඉතිං මේ බැරි එකක් කරන්න දුක් විඳල දුක් විඳල හිටං හදපුවහම හදන හදන එක කැමති සේ නැති එකක්. කැමති සේ පවත්තන්න හදනවනං සංඛාර දුක්ඛය අන්න එතන එනව.
හදන හදන එක කැඩෙනව. එතකොට මොකද කරන්නෙ? දුක් විඳිනව වෙහෙසනව නොකැඩෙන එකක් හදා ගන්න. නොකැඩෙන එකක් නෑ. නමුත් අපි මානසිකත්වයක් ගොඩ නගාගෙන අවිද්‍යාවෙන්, අපි කැමති එකක් හදා ගැනීමට, කැමති එකක් හදාගෙන පෝෂණය කර ගැනීමට අපිට වර්තමාන මොහොතෙ බැරිනං මතු පුළුවං කියල දෘෂ්ඨියක් ගන්නව. අන්න ඒ දෘෂ්ඨියේ නිගමනය තමයි මතු බලාපොරොත්තුව. අන්න මතු බලාපොරොත්තුව නිසා මතු ගමනක් හැදෙනව. අන්න මතු ගමනට හේතුව. ඔතන තමයි මතු ගමන හදන්නෙ. අවිද්‍යාවෙන් මතු ගමන හදන්නෙ ඔය විදිහට.
සංඛාර කරන්නෙත් ඕකට. එතකොට විපරිනාම දුක්ඛයත් ඒකට එනව. දුක්ඛ දුක්ඛයත් ඕකට තියනව. දුක්ඛ තුනකින් සම්පූර්ණ වෙනව. මොකද වෙහෙස, ස්වභාවික වෙහෙස, අපි අකමැති වෙහෙස එනව. සංඛාර කරලත් දුක් විඳිනව වෙහෙසෙනව ගොඩනගන්න . විපරිනාමික දුක්ඛයත් එනව. එතකොට ඔතනින් වෙන්නෙ මොකක්ද, දුක්ඛ දුක්ඛය සංඛාර දුක්ඛය විපරිනාම දුක්ඛය කියල දුක් තුනකින් යුක්ත වෙනව. විපරිනාමය කියන එකත් අද සම්පූර්ණ අරගෙන නෑ. මොකද යමක් විවිධාකාරයෙන් පරිනාමය වෙද්දි අපිට දුකක් ඇති වෙනව. මේ පරිනාම කරන්නෙ අපි නෙමෙයි. ඒක ධර්මතාවය. යම් ධර්මතාවයක පරිනාම අවස්ථාවට අපි කැමති නෑ. අපි “අනේ මේක මෙහෙම නොවුනනං” එහෙම බලාපොරොත්තු වෙනව.