ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගෙන් පසු ලොව විශිෂ්ටතම පිතිකරුවා ලෙස සැලකෙන ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් අද (14දා) මුම්බායිහිදී සිය ටෙස්ට් දිවියේ අවසන් තරගයට සහභාගී වෙයි. 1989 දී 16 වැනි වියේදී ටෙස්ට් පිටියට පිවිසි සචින් තෙන්ඩුල්කාර් අද බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව සිය 200 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරයි. ලොව විශිෂ්ටතම පිතිකරුවෙකු ලෙස වාර්තා පිට වාර්තා තැබූ සචින් තෙන්ඩුල්කාර් මේ වන විට ටෙස්ට් තරග 199 දී ශතක 51ක් රැස් කර ලොව වැඩිම ටෙස්ට් ශතක ලාභියා වී සිටියි.
ටෙස්ට් තරග 199 කදී ලකුණු 15847ක් ලබා සිටින සචින් ටෙස්ට් ලකුණු ලෝක වාර්තාවටද හිමිකම් කියයි.සිය ටෙස්ට් දිවියේ උපරිම ලකුණු සංඛ්‍යාව ලෙස නොදැවී ලකුණු 248ක් ලබා ඇති සචින්ට තම දිවියේදී ත්‍රිත්ව ශතකයක් වාර්තා කිරීමට නොහැකි වීම කැපී පෙනෙයි.ටෙස්ට් තරගවලදී පන්දු යවන්නෙකු ලෙස කඩුලු 46ක් බිඳහෙලා ඇති සචින් රැකගෙන ඇති ටෙස්ට් උඩපන්දු සංඛ්‍යාව 115කි.
40 වැනි වියේ පසුවෙන සචින්ට සිය සමුගැනීමේ ටෙස්ට් තරගය උපන්ගම වන මුම්බායි වෙත ලබාදීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීහු කටයුතු කළහ.ප්‍රේක්ෂකයන් 30,000ක් අසුන්ගත හැකි
මුම්බායි වැන්කඩේ ක්‍රීඩාංගණයට පිවිසීමට ඉන්දීය නරඹන්නන් ලක්ෂ ගණනක් බලාපොරොත්තුවෙන් පසුවෙන බව පැවසේ. ටිකට් පත් ලබා ගැනීමට නොහැකි වීමෙන් බොහෝ ප්‍රේක්ෂකයන් දැඩි කනස්සල්ලෙන් පසුවන බව ඉන්දීය වාර්තා සඳහන් කරයි.
මේ අතර මෙම තරගය කොදෙව් පිතිකරු ෂිවනරින් චන්ද්‍රපෝල්ගේ 150 වැනි ටෙස්ට් තරගය වීමද තවත් විශේෂ සිදුවීමක් වී තිබේ.තරග 2 කින් සමන්විත ඉන්දියා-කොදෙව් තරගාවලිය මේ වන විට 1-0ක් ලෙස ඉන්දියාව පෙරමුණ ගෙන සිටින අතර, සචින්ගේ සමුගැනීම ජයග්‍රහණයකින් සැමරීමට ඉන්දීය පිල බලාපොරොත්තුවෙන් පසුවන බව වාර්තා වෙයි. තරගය අද (14දා) සිට 18 දා දක්වා පැවැත් වේ.
No comments:
Post a Comment