Tuesday, June 19, 2012

නිල්වලා ගඟේ කිඹුල් සංහාරය

පසුගිය කාලයේ මිනිසුන්ට එල්ලවූ තර්ජනය නිසාම දැන් මාතර  නිල්වලා ගග අවට පදිංචිකරුවන් කිඹුලන් මරා දැමීමට පෙළඹී සිටින බව නිතර නිතර නිල්වලා ගෙග් පාවී යන කිඹුල් මළ සිරුරු වලින් පෙනී යයි. වස දමා හෝ වෙඩි තබා කිඹුලන් ඝාතනය කරන බවට සාධක ලැබී ඇති බව ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රසන්ත විමලදාස මහතා කියා සිටියේය.

කිඹුලන් මරා දැමීම දඩුවම් ලැබිය හැකි වරදක් වුව ද ප‍්‍රදේශයේ ජන ජීවිතයට එල්ලවී ඇති තර්ජනයට මුවා වී කිඹුලන් මරා දැමීම දැන් බහුලව සිදුවන බව ද එය වැළැක්වීමට කඩිනමින් කටයුතු කරන බව ද හෙතෙම කීවේය.

ඩයිනෝසර් යුගයේ සිට පරිනාමය වූ කිඹුල් විශේෂ 23 ක් ලෝකයේ දක්නට ලැබෙන අතර මෙරට තෙත් කලාපයේ ගැට කිඹුලා හෙවත් පිට ගැටයා නමින් හඳුන්වන කිඹුල් විශේෂයත් වියළි කලාපයේ හැල කිඹුලා නම් කිඹුල් විශේෂයත් දක්නට ලැබේ. කලින් මෙහි ජීවත් වූ එක් විශේෂයක් වඳවී ගොස් ඇති බවට වාර්තාවේ.


ලොව සිටින කිඹුල් විශේෂ අතරින් මිනිසාට පහරදෙන බවට වාර්තා වී ඇත්තේ විශේෂ අටක් පමණි. මිනිසාට පහරදීම සම්බන්ධයෙන් ප‍්‍රමුඛ වන්නේ මාතර නිල්වලා ගග ඇතුළු ශී‍්‍ර ලංකාවේ තෙත් කලාපයේ ජීවත්වන කිඹුල් විශේෂය සහ නයිල් නදියේ ජීවත්වන නයිල් කිඹුලා නමැති විශේෂ දෙකයි.

ලෝක කිඹුල් විශේෂඥ කමිටුවේ දකුණු ආසියාවේ සහ ඉරාකයේ උප සභාපති ඇන්ස්ලම් ද සිල්වා මහතා පවසන්නේ මාතර නිල්වලා නදිය කිඹුලන් පහරදීම් සම්බන්ධයෙන් සියවසකට වැඩි කාලයක පටන් ප‍්‍රචලිතව තිබෙන බවයි.
ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.
”මම ඉපදුනේ මාතර කොටුවේ. හැදුණේ වැඩුණේ මාතර නිල්වලා ගං මෝය අසබඩ. අපි කුඩා කාලයේත් කිඹුලන්ගෙන් ආරක්ෂා වීම සඳහා කිඹුල් කොටු තිබුණා. අපි කරන්නේ කිඹුල් කොටු වලට නැගලා ගගට පැනලා එගොඩට පීනනවා. කිඹුලන් ගැන භියක් තිබුණේ නැහැ. ඒකාලෙත් කිඹුලන් මිනිසුන්ට පහරදුන් අවස්ථා වාර්තා වුනා.”
ශී‍්‍ර ලංකාවේ වාර්තාවන කිඹුල් විශේෂ දෙක අතරින් හැල කිඹුලා හෙවත් වියළි කලාපීය කිඹුලා ජීවත් වන්නේ සමූහ වශයෙනි. වැලි හා පස් සහිත ස්ථානයක වළක් හාරා බිත්තර දමන හැල කිඹුලිය එම ආසන්නයේ ගුලක් සාදාගෙන බිත්තර ආරක්ෂා කිරීම සිදුකරයි.

නිල්වලා ගෙග් සිටින කිඹුලා හෙවත් ගැට කිඹුලන් කරන්නේ වෙනස් දෙයකි. ඔවුන් ජලය ආශි‍්‍රත ස්ථානයක කොළරොඩු එකතු කර විශාල කූඩුවක් සාදා එහි බිත්තර 10-25  අතර ප‍්‍රමාණයක් දමයි. බිත්තර වලින් පැටවුන් බිහිවනතුරු කිඹුලිය ඒ ආසන්නයේ රැඳී සිටිමින් බිත්තර ආරක්ෂා කරන්නීය. ගැට කිඹුලා හුදකලාව ජීවත් වන අතර අභිජනන සමයේදී පමණක් යුගල වශයෙන් දක්නට ලැබේ. තම නිජ භූමියට වෙනත් කිසිදු කිඹුලෙකුට පැමිණීමට ගැට කිඹුලා ඉඩ දෙන්නේ නැත. කිඹුලාට ස්වභාවික සතුරන් සිටින්නේ බිත්තර කාලයේ සහ කුඩා කාලයේ පමණි. තලගොයන්, කබරුන්, සර්පයන්, කුරුල්ලන් මෙන්ම බල්ලන් හා දියබල්ලන් ද කිඹුල් පැටවුන්ගේ සතුරෝය. වැඩුණු කිඹුලකුට තර්ජනයක් එල්ල කළ හැක්කේ මනසින් දියුණු මිනිසාට පමණි.

ඇන්ස්ලම් ද සිල්වා මහතා පවසන්නේ තමන් කිඹුලන්ගේ අසූචි එකතු කැර කරන ලද පර්යේෂණ අනුව ඔවුන්ගේ ප‍්‍රධාන ආහාරය කිරි මැටි බව තහවුරු වූ බවයි. තම ආහාර වේලෙන් සියයට අනූවක්ම කිරි මැටි ආහාරයට ගන්නා කිඹුලන් හරකුන්, වඳුරන්, බල්ලන්, එළුවන්, කුකුලන්, කුරුල්ලන් සහ කබරගොයන් ද මාළුන් ද ආහාරවේලට එක්කැර ගනී.
‘‘ ශී‍්‍ර ලංකාවේ සිටින ගැට කිඹුලන් මිනිසුන්ට ප‍්‍රහාර එල්ල කළත් ඔවුන් මිනී මරු කිඹුලන් ලෙස හැඳින්වීම වැරදියි. කිඹුලාට මිනිසෙක් කියන්නේ තවත් ගොදුරක් පමණයි. නැතිව මිනිසුන්ට එළව එළවා පහර දීමක් හෝ මිනීමැරීමේ අදහසක් නැහැ. ’’ ඔහු වැඩිදුරටත් කීවේය.


කිඹුලා බුද්ධිමත් සතෙකි. එමෙන්ම කසළ ශෝධකයෙකි. තම පරිසරය වඩාත් පිරිසිදුවට තබා ගැනීමට උත්සාහ ගන්නා කිඹුලන් රෝගී මසුන් ආහාරයට ගන්නා අතර මළ පහ කිරීමට පවා ගොඩබිමට පැමිණෙන්නේ ජලයේදී එය කිරීමෙන් ජලය අපිරිසිදු වන බැවින්යැයි පර්යේෂකයන්ගේ මතයයි.
සිල්වා මහතා ශී‍්‍ර ලංකාව පුරා කිඹුලන්ගේ පහරදීම් වලට ගොදුරුවූ පුද්ගලයන් 150 දෙනකු හමුවී කළ පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ ඔවුන් සියළු දෙනාම කිඹුලන් සිටින බවත් ඔවුන්ගෙන් අනතුරක් විය හැකි බව දැනසිටියදීත් දියට බැසීමෙන් අනතුරට ලක්ව ඇති බවයි.
මාතර නිල්වලා ගෙග්දී කිඹුලකුගේ ගොදුරක් බවට පත්වූ කාන්තාවක් වරක් පවසා තිබුණේ තමන් දිය ගැනීමට ඉවුරට යන සෑම දිනකම නිශ්චිත වේලාවේදී අනෙක් ඉවුරේ සිටින කිඹුලකු තමන් දෙස බලා සිටි බවයි. එම කිඹුලා අනෙක් ඉවුරේ සිටින බැවින් බිය නොවූ බවත් නමුත් එක් දිනක් තමන්ට පහරදුන් බවත් එම කාන්තාව ඇන්ස්ලම් ද සිල්වා මහතා සමග පවසා තිබේ.


ඔහු ඒ ගැන මෙසේ විග‍්‍රහ කළේය.
‘‘ කිඹුලා කියන්නේ ඉතාමත්ම බුද්ධිමත් සත්ත්වයෙක්. යම් අයෙක් එකම ස්ථානයකට සෑම දිනයකම නිශ්චිත වේලාවක යනවානම් කිඹුලා ඒ බව නිරීක්ෂණය කරනවා. කිඹුලා පහර දෙන්නේ උපක‍්‍රමශීලීව. ඒ අනුව කල්යල් බලා පහරදෙනවා. අපි බුද්ධිමත් විය යුතුයි. කිඹුලන් සිටින ස්ථානයන්හි සෑම දිනකම එකම වේලාවක එකම ආකාරයට ගමන් කිරීමෙන් කිඹුලන්ගේ පහසු ගොදුරක් බවට පත්වීමේ ඉඩකඩ වැඩිවෙනවා. මෙය වළක්වාගැනීමටනම් අපේ ඒකාකාරී හැසිරීම් රටාව වෙනස් කළ යුතුයි. ’’ ඔහු නිල්වලා ගෙග් පිහිටි කිඹුල් කොටු 70 ක් නිරීක්ෂණය කළ විට එයින් 35 ක්ම අනාරක්ෂිත තත්ත්වයට පත්ව තිබූ බවයි. මේ හේතුවෙන්ම කිඹුලන්ට කිඹුල් කොටුව තුළට පැමිණීමේ අවස්ථාව උදාවී තිබෙන බව ද ඇන්ස්ලම් මහතා කීවේය.
මාතර නිල්වලා ගග ආශි‍්‍රතව කිඹුල් ප‍්‍රහාර වැඩිවීමට හේතුවී ඇත්තේ කිඹුලන්ගේ ගහනය වැඩිවීම බව ඇන්ස්ලම් ද සිල්වා මහතා පවසයි. ඔහු පවසන්නේ එයට ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ කිඹුලන්ට ජීවත් වීමට සුදුසු පරිසර පද්ධතීන් නිල්වලා ගග සහ එහි අතුගංගා ආශි‍්‍රතව වර්ධනය වීම බවයි.

වැලි ගොඩ දැමීම හේතුවෙන් කරදිය මිශ‍්‍රිත ජලය රට තුළට ගලායාම වැඩි වශයෙන් සිදුවේ. එහි ප‍්‍රතිඵලය වන්නේ අදින් දශක කිහිපයකට පෙර වගාකළ කුඹුරු පුරන් වී කුඩා පඳුරු සහිත මුඩු බිම් බවට පත්වීමයි. ඒවායේ ඇති දිය මාර්ග ඔස්සේ ගමන් කරන කිඹුලන් තම කූඩු සාදාගෙන බිත්තර දැමීම සිදුකරයි. සාමාන්‍යයෙන් කිඹුලියක දමන බිත්තර වලින් පැටවුන් එක්කෙනෙක් හෝ දෙන්නෙක් නිරුපද්ද්‍රිතව වැඩිවියට පත්වෙති.
කිඹුලන්ගේ වාසස්ථාන වැඩිවීමත් මස් වෙළදාම් කරන ව්‍යාපාරික ස්ථාන වලින් ඉවතලන මස් නිල්වලා ගගට ගෙනවිත් දැමීමත් මොවුන්ගේ ගහන ඝනත්වය වැඩිවීමට තවත් හේතුවකි.
‘‘ ඇතැම් අය කියනවා මල් ශාලා වලින් ඉවත් කරන මිනිසුන්ගේ ශරීර අභ්‍යන්තර කොටස් නිල්වලා ගගට ගෙනවිත් දමන බව. ඇත්තටම එය එසේ සිදුවනවානම් ඒවා කා දමන කිඹුලන් මිනී මස් වලට රස වැටී මිනිසුන්ට පහරදීමට වැඩි නැඹුරුතාවක් දැක්වීම අරුමයක් නොවේ. ’’ ඇන්ස්ලම් මහතා එසේ කීවේය.

ඔහු පවසන්නේ තමන් තරුණ කාලයේ නිවස අසළ නිලවලා ගෙග් පිහිනා ගිය ද මේ වනවිට එම ස්ථානයේ පිහිනීමට තබා ගගට බැසීමටවත් ඉඩක් නොමැති බවයි. ‘‘ මම අවුරුදු 40 ට පමණ පසු නිල්වලා ගං මෝයේ කිඹුලන් පිළිබඳ සමීක්ෂණයක් කරන්න ගියා. ඒ වනවිට අපි ගෙග් නාපු තැන්වල කකුලක් තබන්න බැරි තරම් කිඹුලන් සිටිනවා දුටුවා. දැන් නිල්වලා ගෙ`ග් කිඹුලන් ඒ තරමට වැඩි වෙලා. ’’
ඇන්ස්ලම් ද සිල්වා මහතා පවසන්නේ නිල්වලා ගෙග් ඉන්නා තෙත් කලාපය නිජ භූමිය කැරගත් කිඹුලන් වියළි කලාපයට අයත් යාල වනෝද්‍යානයට ගෙනගොස් දැමීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.

‘‘ වසර මිලියන ගණනක සිට ගැට කිඹුලා පරිනාමය වී තිබෙන්නේ තෙත් කලාපය තම නිජ භූමිය කරගෙන. ඔවුන් යාලට ගෙනගොස් දැම්මාට මිය යන්නේ නැහැ. නමුත් ඒ පරිසර පද්ධතිය ඔවුන්ට ගැලපෙන්නේ නැහැ. මීට පෙර යාලට ගෙනගිය ගැට කිඹුලන් විසින් එහි සිටින හැල කිඹුලන් දෙකට කඩා දමා තිබෙන ආකාරය පවා මා නිරීක්ෂණය කැර තිබෙනවා. ඒ නිසා ඔවුන් අතර ගැටුමක් හටගන්නවා. ඒ වගේම ගැට කිඹුලන්ට ජීවත්වීමට වියළි කලාපය සුදුසු නැහැ. ’’
බුද්ධිමත් සත්ත්වයකු වන කිඹුලා තම නිජ භූමිය සොයා යාමේ හැකියාවෙන් යුතු සත්ත්වයෙකි. වරක්  ඕස්ටේ‍්‍රලියාවේ කරදරකාරී කිඹුලකු තම නිජ භූමියේ සිට හෙලිකොප්ටර් යානයකින් කිලෝ මීටර 400 ක් පමණ ඈත වනෝද්‍යානයකට ගෙනගොස් දමන ලද්දේ කිඹුලා සළකුණු කිරීමෙන් අනතුරුවය. නමුත් මාස දෙකක් පමණ කාලයක් ගතවෙද්දී පරිසරවේදීන් නිරීක්ෂණය කර තිබුණේ එම කිඹුලා ගොඩබිම් මාර්ග ඔස්සේ තම පැරණි වාස භවනටම පැමිණ සිටි බවයි. මේ අනුව මාතර නිල්වලා ගෙග් සිටින කිඹුලන් යාලට ගෙනගොස් දැමීම සාර්ථක නොවනු ඇත.

කිඹුලන්ගේ ගැටළුව විසදීම සඳහා රජය මුතුරාජවෙල ආශි‍්‍රතව කිඹුල් උයනක් ඇතිකිරීමට කටයුතු යොදා තිබේ. එය සාර්ථක වුවහොත් යම් පමණකින් කිඹුල් තර්ජනයෙන් ගැලවීමට හැකියාව ඇත. නමුත් මිනිස් කිඹුල් ගැටුම අවම කැර ගැනීමටනම් මිනිසාගේ අපරික්ෂාකාරී හැසිරීම වෙනස්කැරගැනීම හැර වෙනත් සාර්ථක විසඳුමක් නොමැති බව පරිසරවේදීන්ගේ අදහසයි.


                                   ගැට කිඹුලාගේ කූඩුවක්

                                කූඩුවේ බිත්තර ඇති ආකාරය