Monday, November 11, 2013

බවුන් වඩද්දී මහ රෑ ආ අමුත්තා


මිනිසාගේ ශරීරයෙන් වැගිරෙන දහදිය, සෙම්, සොටු, ලේ, සැරව, මළ, මුත‍්‍ර අපේ පියවි ඇසට නොපෙනෙන අමනුස්සයන් ගේ ප‍්‍රියතම ආහාරවේ. මේ යක්ෂ පෙ‍්‍ර්තාදිහු මිනිස් ලොව ස්තී‍්‍ර පුරුෂයන්ට ලෙඩ රෝග වැළදෙනවාට කැමැති වන්නේ ඒ නිසා ය. එසේ ම කලකෝලාහලවලින් ලේ වගුරුවා ගන්නවාට ද කැමති ය. ඔවුන් ඊටත් වඩා කැමැත්තක් දක්වන්නේ මළ සිරුරු ආහාරයට ගැනීමට ය. මළ සිරුරෙන් වැගිරෙන ඕජාව හා වුරුණු තෙල්වලට ඉතා ප‍්‍රිය බවක් දක්වන්නෝ ය. මළ සිරුරක් නිවසක් තුළ තිබියදී තනි නොකිරීම, අවසන් කටයුතු සඳහා නිවසෙන් බැහැරට ගැනීමට පෙර මිනිය තනි කිරීම, සමහර මළ සිරුරු මිනිසුන් අට දෙනෙකුටවත් ඔසවා ගෙන යෑමට නොහැකි තරම් බරක් ඇතිවීම ගවේෂණය කළ යුතු කාරණා වේ.

සමහර ආරණ්‍යවාසී යෝගාවචරයන් වහන්සේ මළ සිරුරු ඉදිරියෙන් තබාගෙන අසුබ භාවනාවේ යෙදෙති. එවැනි අවස්ථාවල අමනුස්සයින් ගේ කි‍්‍රයාකාරකම්වලට මුහුණදීමට ද සිදුවේ. මේ එවැනි අවස්ථාවකි.

වයස අවුරුදු දහ හතෙන් පැවිදි වූ ලේනව මංගල හිමියෝ අවුරුදු දෙකක් පන්සල් පොත් කියවා 1998 දී භාවනාවට යොමු වූහ. තරුණ ජවයත්, වීර්යයත්, භාවනාවට ඇති දැඩි පෙළඹීමත් නිසා මංගල හිමියන්ට මළ සිරුරක්

ඉදිරිපිට තබාගෙන භාවනා කරන්නට සිතක් පහළ විය. ඒ බව සිය ගුරු අනුරාධපුරේ නන්දවිමල මාහිමියන්ට දැන් වූ විට උන් වහන්සේ ද ඊට අනුමැතිය දුන්හ.

ආරණ්‍ය සේනාසනයෙහි කැපකරු දායක හැට හැවිරිදි මානික්කු උපාසක මහතාට මේ බව දැන්වූ විට “අනේ හාමුදුරුවනේ මම කොහොමද මිනී හොයන්නේ. මම මැරුණු දවසක ඔබ වහන්සේ මගේ මිනිය ඒ සඳහා භාවිත කර භාවනා කරන්නැ”යි කැමැත්ත දුන්නේ ය.

මිනියක් ලැබෙන තුරු මංගල හිමියෝ තමන්ගේ ගල්ගෙය (කුටිය) තුළට වී තම සිරුර මෙනෙහි කරමින් අසුබ භාවනාවේ යෙදෙන්නට වූහ. කීප දිනක් එසේ භාවනා කරන විට කුටිය ගඳ ගහන්නට වීය. හඳුන්කූරු දැල් වුව ද එයින් නැඟුණේ ද දුගඳකි.

එයින් පසුබට නොවූ මංගල හිමියෝ වීර්යයෙන් තවදුරටත් භාවනා කළහ. මේ අතර ආරණ්‍යයට සම්බන්ධ උපාසක මහතෙක් මිය ගියේ ය. පවුලේ ඥාතීන් සමඟ සාකච්ඡා කොට එම මිනිය භාවනාව සඳහා ඉල්ලා ගත්හ. එහෙත් ඒ වනවිට මිනිය එම්බාම් කැර තිබුණු බැවින් එහි ඇටසැකිල්ල ගැනීම සඳහා මාස තුනක් වළලා තැබූහ. මාස තුනකින් පසු ගොඩට ගෙන ඉතුරු මස් සූරා බැරලයක බහා තම්බා ඇටසැකිල්ල වේළෙන්නටත්, ඈට ඇතුළත යුෂ කූඹින්ගේ ආහාරයට දෙවා ශුද්ධ කරන්නටත් වැලිගොඩක් මත තැබූහ. එය තැබූයේ මංගල හිමියන් ගේ කුටියට තරමක් ඉහළිනි.

මේ අතර මානික්කු උපාසක තැන ද අසනීප විය. ඔහු ද මරණාසන්න වූයෙන් පිළිම වහන්සේ අසල තබා බුදුගුණ සිහි කරන්නට හිමිවරු උපදෙස් දුන්හ. ඔහු බුදු ගුණ මෙනෙහි කරමින් ම මළේය. මළ සිරුර නිවසට ගෙන යෑමට ඔහුගේ සොහොයුරා පැමිණියේ ය. මානික්කු උපාසක ජීවත්ව සිටියදී තම සිරුර මිය ගියාට පසු භාවනාව සඳහා ප‍්‍රයෝජන ගැනීමට කැමැත්ත දුන් බව පවසා එම්බාම් නොකර මිනිය ආරණ්‍යයට දෙන්නේ නම් එය මිය ගිය පුද්ගලයාට ද ඔබට ද මහත් පිනකැයි මාහිමියෝ පැවසූහ. මානික්කු උපාසක තැනගේ සොහොයුරා ද ඥාතීන්ට ගෞරව දැක්වීමට එක් දවසක් ඉඩ දෙන්නැයි ඉල්ලා පසු දින සවස ආගමික වතාවත් කොට මිනිය ආරණ්‍යයට ම බාර දුන්නේ ය.

නෑදෑයින් විසිර ගියාට පසු සවස මිනිය උණ ගස් දෙකක තබා බැඳ කන්ද ඉහළට ගෙන ගියහ. එතැන රියනක් පමණ උස ටැංකියක් බැඳ තිබූ අතර මිනිය එහි තබා වීදුරු තහඩුවකින් වසා තැබීය. මිනියට කුඩා රෙදි කැබැල්ලක් පමණක් අන්දවා නිරුවත් පරිදි තබා තිබිණි.

සොහොනකට හෝ මිනියක් ළඟට යෑමේදී සොරකුට නම් බියක් නොදැනේ. ඊට හේතුව ඔහු යන්නේ යමක් සොරාගෙන ඒ සැණින් පලා යෑමට බැවිනි. එහෙත් මිනියක් ළඟ තනිව සිටින යෝගාවචරයකුට බයක් චකිතයක් ඇති විය හැකි ය. ඒ මෙතැන සිදුවන්නේ ආධ්‍යාත්මීය ගනුදෙනුවක් බැවිනි. මෙහිදී ආරක්ෂා විය යුතු කාරණා කීපයක් වෙයි. යෝගාවචරයා ගේ සුළඟ මිනියට වැටුණොත් මිනිය බදාගෙන සිටින අමනුෂ්‍යයෝ කෝප වී කරදර කරති. මිනියේ සුළඟ යෝගාවචරයාට වැදුණොත් ගඳ උහුලාගත නොහැකි ව වමනය යනු ඇත. යෝගාවචරයා මිනියට දුරින් සිටියොත් මිනියේ සටහන හරි හැටි ගැනීමට හෙවත් උද්ධු මතක නිමිත්ත සිතට ගන්නට නොහැකි වේ. ග‍්‍රහණය නොවේ. ඒ නිසා තම සුළඟ මිනියට නොවදින්නටත් මිනියේ ගඳ තමන්ට නොවදින්නටත් දුරත් නැතුව ළඟත් නැතුව සිටිය යුතුවේ. එසේ ම මෙම අසුබ භාවනාව සඳහා මිනිය ළඟට යෑමට පෙර තමන් සිටින කුටිය තුළ ඇති ඇඳ පුටු මේස කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලිවල පැහැදිලි සටහනක් හා දොර ජනෙල් පිළිබඳ සටහනක් පවා තදින් සිතට ග‍්‍රහණය කැරගෙන යෑමට නියමිත ය. එතැනට යන මඟ සලකුණු පවා මතක තබාගෙන ගොස් මිනියේ හැඩ රුව, තරම, බඩ ඉදිමුණ තරම, කට ඇරී ඇති ප‍්‍රමාණය ආදියත් මිනිය අවට ගස් ගල්වල සටහන් පවා සිතට තදින් ග‍්‍රහණය කොට මතක තබා ගැනීමට නියමිත ය. ඉන් පසුවයි උද්ධුමානක නිමිත්ත අරමුණු කොට භාවනාව ඇරැඹිය යුත්තේ.

ඉන් පසු මංගල හිමියෝ උද්ධුමාතකං… උද්ධු මාතකං… (උඩුබැලි අතට ඇති මිනිය) යැයි භාවනාව පටන් ගත්හ. මිනියට යාර 10 ක් පමණ දුරින් වූ කෙටි තාප්ප බැඳි ටකරන් මඩුවකට වී නන්දවිමල මාහිමියන් හා තවත් 17 හැවිරිදි සාමණේර හිමි නමක් තනි නොතනියට දින දෙකක් සිටියහ. මේ අතර වීදුරුව දුර්වර්ණ වී මිනිය නොපෙනීම නිසා වීදුරුව දෙකඩ කරන්නට සිදුවිය.

නියමිත භාවනා කාලය තුළ මළ සිරුර මුහුණ බෙල්ල හා ශරීර ඉදිමෙයි. ඉදිමෙන විට ඇඟ රැළි මැකී සම ලස්සන වෙයි. ඊළඟට නිල් පැහැ ගැන්වෙයි. දුගඳ වැඩිවෙයි. නව දොරින් දියර ගලන්නට ආරම්භ වෙයි. නිල මැස්සන් බහුලව පැමිණෙති. ඉහඳ තබති. ඉහඳ තැබූ විට සිරුර ඉහඳවලින් සුදු පැහැ ගැන්වේ. පණුවන් බිහි වී සිරුර පුරා පණුවන් නලියනු පෙනෙයි. හිස කෙස් ගැලවී වැටෙයි. ඇස් කන් නාසාදිය කුණු වෙයි. දුගඳ තව තවත් වැඩිවේ. ශරීරය තැනින් තැන සිදුරු ඇති වී පණුවන් සිදුරුවලින් එහා මෙහා යනු පෙනෙයි. ඉන් පසු සියලු මස් කුණු වී පෙණ ගතියකට පැමිණ දිය වී ගලා යයි. සිරුරේ යටිපතුල් දෙක පමණක් ප්ලාස්ටික් කැබලි දෙකක් මෙන් සුදු පැහැයට ඉතුරුව පෙනෙයි. පසුව එය ද කුණු වී ඇට සැකිල්ල මතු වෙයි.

මේ අවසන් තත්ත්වයට පත් වෙන්නට පෙර තුන් වැනි දින රාති‍්‍රයේ මංගල හිමියන් ගේ තනි නොතනියට කිසිවෙක්වත් නොපැමිණියහ. දැන් හුරු වී ඇති නිසා එය අවශ්‍ය නැතැයි සිතන්නට ඇත. දැන් මංගල හිමියෝ උද්ධ මානකං යැයි භාවනා අරමුණ මෙනෙහි කරති. දැන් මළ මිනියේ මවිල් ගහ පවා සිහියේ සටහන් වී නිමිත්ත සිතේ ඇඳී ඇත. ඇස් ඇරගෙන මිනිය දෙස බලා සිටිති. ඇස් වසා ගෙන ඒ සංඥාව මනැසින් බලති. අඳුර වැඩි වන විට මිනිය දර්ශනය අඩු වෙයි. වයරයක සවි කළ බල්බය රැගෙන මිනිය අසලට ගොස් ඒ එළියෙන් භාවනා මනසිකාරය වඩති. බල්බය පුපුරා යයි. නැවත මඩුවට පැමිණ දෙවැනි බල්බයක් සවි කොට ගෙන බලති. ඒ බල්බය ද පුපුරා යයි. තුන් වැනි බල්බය ද එසේ ම පුපුරා යයි. සිතට කුකුසක් නැෙඟයි. මිනිය අසලින් නික්ම මඩුවට ගොස් මතකයෙන් සංඥාව උපදවති. උද්ධු මාතකං… උද්ධු මාතකං…

හිටි හැටියේ භයානක ශබ්දයක් ඇසුණි. පොළොව දෙකට පැළී එහා මෙහා වන බවක් දැනේ. කව්දෝ කෑ ගසන හඬක් ඇසෙයි. භාවනා සිතෙහි පහළ වූ උද්ධුමතක නිමිත්ත කසිනයක් වූයේ කෙසේ දැයි කුකුසක් දැනෙයි. බියක් චකිතයක් ඇති වෙයි. මංගල හිමියෝ නැඟිට කෙටි තාප්පය ළඟට ගොස් ඇස් ඇර බැලූහ. දෙවියනේ! අඩි පහළොවක් විතර උස දැවැන්ත මිනිහෙක් මංගල හිමියන් දෙස මිනිය අසල සිට බලා සිටී. බියක් දැනෙයි. මිය ගිය උපාසක මහතා නම් අපට හිතවත් ය. ඔහු සැදැහැවතෙකි. ඔහුගෙන් නම් කරදරයක් නොවේ යැයි හිත හදා ගන්නට උත්සාහ කරති. දැවැන්තයා ඉදිරියට එන්නට සැරසෙයි. ඔහු ගේ හිස කෙස් කිතුල් රැහැන් මෙන් හැඩපලු ගෙතී පහතට වැටී ඇත. මුහුණ පැහැදිලි නැත. පියවර තබන විට ඇඟ මස් සලිත වනු පෙනෙයි. මංගල හිමියෝ ඉවත බලාගෙන පිටුපස තිබූ බූරු ඇඳට වී දිග ඇදුණහ. “හාමුදුරුවනේ! හාමුදුරුවනේ! මට පහළට එන්න ඕනෑ. මෙහෙට වඩින්නෝ…” යැයි කෑ ගසා පහළ කුටිවල සිටින හිමිවරුන්ට ඇහෙන්නට කීහ. වේලාව රාති‍්‍ර 12 පමණ වන්නට ඇතැයි සිතේ. කිසිවෙක්වත් ඉහළට නොපැමිණියහ.

මංගල හිමියෝ දැවැන්ත මිනිසා සිටින පැත්ත නොබලා සිවුරෙන් මුහුණ වසා ගනිති. දැන් උද්ධුමානක නිමිත්ත මැවී පෙනෙයි. යළිත් නිමිත්ත අත හැර දැමිය යුතු යැයි සිතා උපායක් ලෙස තරුණ ස්ති‍්‍රයක් ගැන මෙනෙහි කොට සිත වෙනත් අතකට යොමු කරන්නට උත්සාහ කළහ. ඒ තරුණ ස්තී‍්‍ර රූපය ද උද්ධ‍්‍රමානක නිමිත්තක් බවට පත් වෙයි. ඒ නිමිත්ත ද අත හැර දමා තම සිරුර මනසින් බලයි. එය ද උද්ධුමාතකයක් සේ පෙනෙයි.

මේ අතර දැවැන්ත මිනිසා ද මතකයට එයි. ඔහු දැන් මඩුව ළඟට විත් දැන් දැන් මගේ මුහුණ අත ගාවී යැයි සිතෙයි. සිත කම්මලකි. පහළට ඇසෙන්නට කෑ ගසති. හඬ පිට නොවෙයි. අනේ ඉක්මනින් ඉර උදාවේ නම් හොඳ යැයි සිතෙයි. විනාඩියක් ගත වෙන්නට පැයකටත් වඩා කල්ගත වන සෙයක් දැනේ. බියත් චකිතයක් අතර මෙතෙක් ආරක්ෂා කළ සීලය සිහිපත් කළහ. තෙරුවන් බලය, ආනුභාවය තමන් වහන්සේ ආරක්ෂා කරන බවට විශ්වාස ය.

කුරුල්ලන්ගේ නාද ඇසෙන්න පටන් ගනී. යම්තම් එළිය වැටී ඇති බව දැනෙයි. සිවුර මෑත් කොට මඩුවේ පිටුපස දෙස බැලූහ. මඳ එළිය පැහැදිලිය. ඉදිරිපසට ද හැරී බැලූහ. දැවැන්තයා පෙනෙන්නට නැත. මිනියේ කුණු ගඳ දැනෙයි. දඩි බිඩි ගා නැඟිට පහළට දුවගොස් නන්දවිමල මාහිමියන් හමු වී සිද්ධිය පැවසූහ. උන් වහන්සේ උපේක්ෂාවෙන් මඳ සිනහවක් පළ කළහ.

හීල් දානය සූදානම් වෙයි. ආරණ්‍යයේ කැප කරුවකු ආ ගිය අතක් නැත. දානයෙන් පසු සොයා බලන විට ඒ අසලින් ගලන දොළ පහරේ ගල් දෙබොක්කාවක සිර වී ඔහු මිය ගොස් ඇති බව දැන ගන්නට ලැබිණි.

මංගල හිමියෝ ඊයේ රාති‍්‍රය සිහිපත් කළහ. කුටියට උඩින් නොවියැළි ඇට සැකිල්ලක්. ඒ ඇට සැකිල්ලටත් කුටියටත් අතරින් මළ මිනියක්. කුටිය පහළ නුදුරින් දොළේ හිරවුණු මළ මිනියක්.

ඉන් පසුව නම් කැලේ මැද තනිවම උද්ධුමාතකය වඩන්නට ගියේ නැතැයි මංගල හිමියෝ පැවසූහ.

(තිරෝකුඩ්ඩ,මහාසාල වැනි සූත්‍ර දේශනා පරිශීලනයේදී අපට වැටහෙන කරුණක් වන්නේ මේ අමනුෂ්‍යන්ගේ ග්‍රහණයට මිනිසුන් වැඩි වශයෙන් හසුවන බවය.එනිසා අප විසින් කල යුත්තේ මෙම අමනුෂ්‍ය ග්‍රහණයෙන් මිදී අපගේ ලෞකික ලෝකෝත්තර සුඛ විහරණය සාදා ගැනීමය.ඒ සදහා යම්කිසි අවබෝධයක් අප සතුව තිබිය යුතුය.ඒ අවබෝධය ලබා ගැනීම සදහා ගලිගමුවේ ඥානදීප හිමියන් විසින් රච්ත 'අමනුෂ්‍ය ග්‍රහණයෙන් මිදී සුගතිය කරා'' යන ග්‍රන්ථය කියවීම බෙහෙවින් වටී.සැබෑ ලෙසම දෙවියන් යනු කවුරුන්ද?අමනුෂ්‍යන් යනු කවුරුන්ද , මෙම සදහම් ග්‍රන්ථය තුළින් බුද්ධ දේශනා ඇසුරින් පෙන්වා දී ඇති අතර දෙවියන් ලෙස රැවටී අමනුෂ්‍ය ග්‍රහණයට මිනිසුන් හසුවන අයුරු පෙන්වා දී ඇත)