Monday, June 11, 2012

මරණයේ මිටියාවතේ ඇවිදින පාෂාණ

අමෙරිකාවේ රේස් ට්‍රැක් ප්ලාසා ප්‍රදේශයේ පිහිටි මරණයේ මිටියාවතට ඒ නම ලැබී තිබෙන්නේ නෙත ගැටෙන මානයේ මිනිසෙක්, සතෙක් තබා ගහ කොළක්වත් දක්නට නැති නිසාය. 

ගිම්හාන සමයන්හිදී පොළව දස අතට ඉරි තලා යයි. ශීත කාලයන්හිදී ඒ පැළුම්වල අයිස් බැඳේ. මේ අතර මේ හුදෙකලා පොළව මත කිසිවෙකුටත් නොපෙනෙන අබිරහස් ක්‍රමයකට ලොකු කුඩා ගල් පර්වත සහ පාෂාණ කැබලි ඉදිරියට ඇදෙයි.

ඇවිදින පාෂාණ, යාත්‍රා කරන පර්වත හෝ ලිස්සා යන පාෂාණ වැනි යෙදුම් වලින් හැඳින්වෙන මේ සංසිද්ධිය තවම වටහා නොගත් අබිරහසකි. මිටියාවත පුරා පාෂාණ පැමිණි මඟ සලකුණු දිස්වේ. ඒවා හිස් බිම මත ඇදෙන ගොළුබෙල්ලන් මෙනි. බැලූ බැල්මට චලනය වන බවද නොපෙනේ. සමහර විට ඒවා චලනය වන්නේ මිනිස් ඇසට ග්‍රහණය කර ගත නොහැකි ලෙස විය යුතුය.


පාෂාණ සෑම වසර දෙකකට හෝ තුනකට වරක් මිටියාවත පුරා ඇවිදින බව නිරීක්ෂකයෝ කියති. විටෙක එකම ස්ථානයෙන් පාෂාණ දෙකක් ගමන් අරඹති. ඒවා රේල් පීලි දෙකක් මෙන් සමාන්තර මඟකින් ඉදිරියට ඇදෙයි. ඉන්පසු යම්කිසි නොදන්නා හේතුවක් නිසා එයින් එකක් හිටිවනම වමට හෝ දකුණට හැරේ’ ඉතා කලාතුරකින් ආපස්සට ඇදෙන අවස්ථාද දක්නට ලැබේ. සමහර විටෙක සිග් සැග් රටාවක් පොළව මත එයින් මැවේ.

මරණයේ මිටියාවතට මේ පාෂාණ පැමිණෙන්නේ කොහෙන්ද? මිටියාවතේ දකුණු කෙළවරේ අඩි 850ක් පමණ උස තද දුඹුරු පාට ඩොලමයිට් කන්දක් තිබේ. එහි බෑවුම් ඔස්සේ ලොකු කුඩා පාෂාණ කැබලි ලිහිල් වී බිම පතිත වේ. ඒවා මිටියාවත ඔස්සේ ඇදෙන විට, සලකුණු වන මං තීරු විටෙක අඩි දස දහසක් දක්වා දිගය. තවත් විටෙක අඩියකට පමණ සීමා වීමටද පුළුවන.
ඇවිදින පාෂාණ නිසා සලකුණු වන ගැඹුර නම් අඟලකට වඩා වැඩි නොවේ. මෙම අබිරහස ගැන මුල්ම සටහන තැබුවේ 1948 වර්ෂයේ භූ විද්‍යාඥයින් දෙදෙනෙකු වන ජිම් මැක් ඇලිස්ටර් සහ ඇලන් ඇග්නව් විසිනි. පසුව ලයිෆ් සගරාවේ ද විස්තර සහිත ඡායාරූප පළ කෙරිණ. හැටේ දශකය තුළ මේ පිළිබඳ පර්යේෂණ පත්‍රිකාද එළිදැක්විණි. 1972 – 1980 කාලයේ අට වසරක මහා පර්යේෂණයක් කෙරුණේ එක් එක් ඇවිදින පාෂාණවලට නම් පවා ලබා දෙමිනි.

ඇවිදින පාෂාණවල අභිරහස හේතුව මරණයේ මිටියාවතේ සුමුදු පොළවද?, එසේත් නැතිනම් එහි පිහිටන සියුම් මැටි තට්ටුවද, මිටියාවත පිසගෙන හමන සැඩ සුළඟක්ද යන්න කිසිදා සොයා ගැනීමට ලැබී නැත. ගිම්හානයට වඩා ශීත ඍතුවේදී පාෂාණ වේගයෙන් චලනය වන බව පෙනේ. කාලගුණික වාර්තා දිගටම ඉඟි කරන්නේ මිටියාවත දරුණු සුළං තත්ත්වයට හසු නොවන බවයි. ශීත ඍතුවේදී බැඳෙන අයිස් වලින් මෙතරම් දෙයක් කළ හැකිදැයි විද්‍යාඥයෝ විමතියට පත්වෙති.

පොළව අභ්‍යන්තරයෙන් ක්‍රියාත්මක වන ආනති බලයක් මේ සඳහා වගකිව යුතුදැයි මැසචුසෙට්ස් ප්‍රාන්තයේ නිව් හැම්ෂයර් සරසවියේ පර්යේෂකයෝ මේ වනවිට සොයා බලමින් සිටිති. මිනිස් ඇසට නිරීක්ෂණය කළ හැකි ප්‍රමාණයේ විශාල චලනයක් විටෙක මෙම පාෂාණ පෙන්වන්නේ නැත. විද්‍යාඥයන් විසින් මේරි ඈන් ලෙස නම් කර තිබූ පාෂාණයක් එක් ශීත ඍතුවක් තුළ අඩි 212 ක් ඉදිරියට ඇදී ගියේය.
ඊළඟ ශීත ඍතු 6න් 2ක් තුළ තවත් පාෂාණ එවැනි චලනයක් පෙන්වීය. නැන්සි ලෙස හැඳින් වූ එක් පාෂාණ කැබැල්ලක් එක් වසරක් තුළ චලනය වී තිබුණේ අඟල් 2 1/2ක් වැනි සුළු දුරක් පමණි. තවත් වතාවක කිලෝ ග්රෑම් තිස් හයක් බඳු දැවැන්ත පාෂාණ කැබැල්ලක් එක් ශීත ඍතුවක් තුළ අඩි 659ක් දුර ඇදී ගියේය. එහෙත් ඊළඟ ශීත ඍතුවේ එය එක අඟලක් හෝ ඉදිරියට ඇදීම ප්‍රතික්ෂේප කළේය.

මරණයේ මිටියාවත පාළු සුසානයක් මෙනි. ලෝකය ඒ දෙස විමතියෙන් බලා සිටී. එසේ ඇස ගසාගෙන සිටියද මිනිස් ඇසට හසු නොවෙමින් මිටියාවත පුරා සැරිසරන්නට මේ පාෂාණ නිතරම වග බලා ගනියි.