Saturday, November 9, 2013

මාවිල්ආරු සිට නන්දිකඩාල් දක්වා


ම්ලේච්ඡ කොටි ත‍්‍රස්තවාදයෙන් දශක තුනකට අධික කාලයක් ශී‍්‍ර ලංකාවාසීන් විඳි සියලු මානසික සහ කායික පීඩාවන් දුරකරමින් එල්.ටී.ටී.ඊ. සංවිධානයත් එහි නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන් ඇතුළු ප‍්‍රධානීන් සියලුම දෙනාත් මේ වන විට වළපල්ලට ගොස් අපාගත ගත වී සිටිති.

දරුවන් තාරපාරේ ලයිට් කණුවල සහ ගස්වල ගසමින් මරා දමමින්, නිදි පැදුරේ සිටි අහිංසක ජනතාව කපා කොටා වෙඩි තබා මරා දමමින් මහ සංඝරත්නය සහ ආගමික බැතිමතුන් කපා කොටා වෙඩි තබා මරා දමමින්, ශී‍්‍ර ලාංකික ජන සමාජයම දුකට පත් කරමින්, ශී‍්‍ර ලංකා ආර්ථිකයට රුපියල් මිලියන ගණනින් පාඩු සිදුකළ මහා පාපකර්මය පඩිසන් දෙමින් කොටි නායක ප‍්‍රභාකරන් ඇතුළු ප‍්‍රධානීන් මුලතිව් නන්දිකඩාල් කලපුවේ මියගොස් සිටියේ බල්ලන් බළලුන් ලෙසිනි.

ශී‍්‍ර ලංකා භූමියෙන් හතරෙන් එකක් පමණ සිය ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් අත්පත් කරගෙන සිංහල වැසියන් ගම්වලින් පළවා හැර උතුරු-නැගෙනහිර ඊනියා සිහින ඊළාම් රාජ්‍යයන් ප‍්‍රකාශයට පත් කර වසර 30 ක් තිස්සේ ගෙනගිය ඒකාධිපති පැසිස්ට්වාදී මිනීමරු
පාලන තන්ත‍්‍රය සම්පූර්ණයෙන්ම වනසා දමා ශී‍්‍ර ලංකාවට නැවත ස්ථිරසාර සාමයක් ගෙනඒමට අපේ වීරෝදාර හමුදා විරුවනට හැකි විය.
ත‍්‍රස්තවාදීන් විසින් ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ කන්තලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සේරුනුවර මාවිල්ආරු ජල සොරොව්ව වසා දමමින් කුඹුරු අක්කර දහස් ගාණක් වේළෙන්නට හැර ගොවි පවුල් විසිපන්දාහක් පමණ අනාථ කරමින් කළ මහා විපත තුළින් එම ජනතාව බේරා ගැනීමේ පියවරක් ලෙස මාවිල්ආරු සොරොව්ව නැවත අත්පත් කර ගැනීම සඳහා නැගෙනහිර මානුෂික මෙහෙයුම ආරම්භ කෙරිණි.

අසරණභාවයට පත් ගොවි ජනතාවට සහනයක් ලබාදීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් මාවිල්ආරුව මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භ කෙළේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධීක්ෂණයෙන් යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතා ගේ නිවැරැදි මගපෙන්වීම ඔස්සේ ය.

මාවිල්ආරුවෙන් ආරම්භ කළ නැගෙනහිර මානුෂික මෙහෙයුම මගින් හමුදාව නැගෙනහිර බලය සම්පූර්ණයෙන්ම අත්පත් කර ගත්තේය. එම සටනේදී ප‍්‍රථමයෙන්ම මාවිල්ආරුව සොරොව්ව වසා දමා තිබූ ස්ථානය දක්වා මහ සටනක් කර හමුදාව ඉදිරියට ගොස් ත‍්‍රස්තවාදීන් ප‍්‍රදේශයෙන් පළවා හැර සොරොව්ව නැවත විවෘත කර ගොවීනට

ජලය ලබාදීමට කටයුතු කෙළේය. 
ජලය මුල් කරගෙන ආරම්භ කළ නැගෙනහිර මානුෂික මෙහෙයුමේදී ත‍්‍රස්තවාදීන් ප‍්‍රදේශයෙන් පළවා හැර ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ කන්තලේ සේරුනුවර සීමාවේ සිට සාම්පූර් දක්වාම ත‍්‍රස්ත බලය සුනු විසුනු කිරීමට හමුදාව සමත් විය.


ඉන් නොනැවතුණ හමුදාව දෙවනුව මඩකළපුව වාකරේ ප‍්‍රදේශය අත්පත් කර ගැනීම සිදු කළ අතර එය නැගෙනහිර පළාතේ ත‍්‍රස්තවාදීන්ගේ ලොකුම පරාජයක් විය.

හමුදාව වාකරේ අත්පත් කර ගැනීමත් සමඟම වාකරේ ප‍්‍රදේශයේ අවසන් මොහොතේ සිරවී සිටි තුන්දහසක් දෙමළ ජනතාවක් මුදා ගැනීමට අපේ හමුදාව සමත් විය. 58 වැනි සේනාංකය 2008 නොවැම්බර් 15 වැනිදා පූනරීන් ජයග‍්‍රහණය කිරීමෙන් පසු එතැන් සිට පරන්තන් දක්වා වූ ගමන ආරම්භ කළේ ත‍්‍රස්තවාදීන්ගේ දැඩි ප‍්‍රහාර මධ්‍යයේ වන අතර ඒ ගමනේදී කොටින්ගේ ගුවන්පථයක්ද හමුදාව අතට පත් විණි. 2009 ජනවාරි 2 වැනිදා 58 වැනි සේනාංකය පරන්තන් නගරය අත්පත් කර ගැනීමත් සමඟම කොටින්ගේ සිහින ඊළාම් රාජ්‍යයේ අගනුවර වූ කිලිනොච්චිය අත්පත් කර ගැනීමේ සටන ජය ගැනීමට හමුදාවට පහසු විය.


මේ වන විට අක්කරයාන්කුලම් සිට කොකාවිල් දක්වා පැමිණ සිටි 57 වැනි සේනාංකය ඉරනමඩු ප‍්‍රදේශයට ළංවීම සඳහා ත‍්‍රස්තවාදීන් සමඟ දරුණු ගැටුම් රැසකට මුහුණදී සිටියේය. ඉරණමඩුහි පිහිටි කොටින්ගේ ප‍්‍රධාන ගුවන් පථයක්ද අල්ලාගත් 57 වැනි සේනාංකය කෙමෙන් කිලිනොච්චිය නගරය නුදුරුව ඒ-9 පාරේ ඉරණමඩු බලය අත්පත් කර ගත්තේය.

ඒ සමඟම පරන්තන් සිට 58 වැනි සේනාංකයත් ඉරණමඩු සිට 57 වැනි සේනාංකයත් එක්ව ත‍්‍රස්තවාදීන්ට එකවර කිලිනොච්චිය නගරය වටකොට දැඩි ප‍්‍රහාර එල්ල කරමින් ඒකාබද්ධ වී 2009 ජනවාරි 2 වැනිදා කිලිනොච්චිය නගරය අත්පත් කර ගත්තේය. කිලිනොච්චිය අත්පත් කර ගැනීමත් සමඟම එහි තිබූ ත‍්‍රස්තවාදීන්ගේ සුඛෝපභෝගී මාලිගා වැනි ගොඩනැගිලි සහ පරිපාලන මර්මස්ථාන සියල්ලම හමුදාව අතට පත්වීමෙන් පසු ත‍්‍රස්තවාදීහු විශ්වමඩු හා පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයට පළා ගියහ.


පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශය හතර වටින් සේනාංක තුනක් විසින් වටකර මාස කීපයක්ම එහි මෙහෙයුම් කර දිනෙන් දින ත‍්‍රස්තවාදීන්ගේ බෝම්බ කර්මාන්තශාලා, කාලතුවක්කු, මෝටාර් ඇතුළු බරඅවි, ටී-56 ඇතුළු සුළු අවි වර්ග රැසක්, භූගත ඉන්ධන ගබඩා, කොටි නායකයින් රැඳී සිටි භූගත නිවාස රැසක්, කොටින්ගේ බෝට්ටු කර්මාන්තශාලා, ගුවන්යානා නාශක අවි සහ උණ්ඩ, රසායනික අවි, සබ්මැරින් යාත‍්‍රා ආදී අති විශාල යුද උපකරණ රැසක්ම අත්පත් කර ගත්තේය. 

පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයේ බලය අත්පත් කර ගැනීමේ සටනේදී යුද හමුදාවට දැවැන්ත ශක්තියක් වීමට ගුවන් හමුදාවද කි‍්‍රයාකළ අතර කොටින්ගේ ප‍්‍රධාන මර්මස්ථාන රැසක් සහ කොටි නායකයින් රැසක් ගුවන් ප‍්‍රහාර මගින් විනාශ කෙරිණි.

අවසානයේදී පුදුමාතලන් යුදමුක්ත කලාපයට ත‍්‍රස්තවාදීන් කොටුකර තබා එහි සිටි සිවිල් වැසියන් බේරා ගැනීමේ මානුෂික මෙහෙවර ඉතාමත්ම උපක‍්‍රමශීලීව බැරෑරුම් අයුරින් සිදුකිරීමට හමුදාවට සිදුවිය. මෙය ලෝකයේ කිසිදු හමුදාවකට මුහුණදීමට සිදු නොවූ අත්දැකීමක් වූ අතර සතුරාට ප‍්‍රහාර එල්ල කරන ගමන් සිවිල් ජනතාව මුදා ගැනීම

ඔවුන් සිදුකළේ ඉතාමත් සංවේදී ආකාරයෙනි. නන්දිකඩාල් කලපුව හරහා සහ ගොඩබිමින් පැමිණි ලක්ෂ එකහමාරක් පමණ වූ ජනතාවක් අවසාන මොහොතේ පුදුමාතලන් යුද මුක්ත කලාපයේදී මුදා ගැනීමට හමුදාවට හැකි විය.

කොටි නායක ප‍්‍රභාකරන්ගේ මළගම සමඟම වසර 30 ක් තිස්සේ පැවැති ශී‍්‍ර ලංකාවේ එල්.ටී.ටී.ඊ.ත‍්‍රස්තවාදයේ මළගමද සිදු වූ අතර ඊළාම් රාජ්‍ය නමැති මහා මායාවද වැළලී ගියේය. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වසර 30 ක් තුළ විඳි දුක්ඛ දෝමනස්සයන් කෙළවර වූ අතර එම විජයග‍්‍රහණය ලබාදුන් රණවිරුවනට ජාතියේ උත්තමාචාරය හිමිවිය යුතු වේ.