ගෑස් 350කින්: කිරිපිටි කිලෝවක් 163කින්: සිමෙන්ති 70කින් වැඩිවේ
පාරිභෝගිකයන්ට අසාධාරණයක් නොවන සේ මිල වැඩි කළා - ඇමැති ජොන්ස්ටන්
කිරිපිටි, සිමෙන්ති සහ ගෑස් මිල ගණන් ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350කින් ඉහළ දමා ඇත. කිරිපිටි කිලෝග්‍රෑම් එකක පැකට්ටුව
රුපියල් 163කින් ඉහළ දමා ඇති අතර ග්‍රෑම්
400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 61කින් ඉහළ දමා ඇත. සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 70කින් ඉහළ දැමීමටද පාරිභෝගික කටයුතු අධිකාරිය අවසර දී ඇත.
ඒ අනුව රුපියල් 2046ට පැවැති කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2396ක් වේ. රුපියල් 647 මිලකට පැවැති කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවේ නව මිල රුපියල් 810ක් වන අතර ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවේ නව මිල රුපියල් 325ක් වේ. ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවේ මිල පැවතියේ රුපියල් 264ක් වශයෙනි.
රුපියල් 750ක පාලන මිලකට පැවැති සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 820ක් වේ.
ලෝක වෙළෙඳපළේ මිල වැඩිවීම හේතුවෙන් අදාළ සමාගම්වලින් මිල වැඩි කරන ලෙස මාස ගණනාවක් පුරා කරන ලද ඉල්ලීම් සලකා බලා පාරිභෝගිකයාටද අසාධාරණයක් නොවන පරිදි මිල ගණන් ඉහළ දැමූ බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 907කින්ද, කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 170කින්ද ඉහළ දමන ලෙස අදාළ සමාගම් විසින් ඉල්ලීම් කර තිබුණි.
No comments:
Post a Comment