Saturday, April 28, 2012

අයි.පී.එල්. මුදල් නිසා රට අමතක වන සුපිරි තරු

අයි.පී.එල්. හෙවත් ඉන්දියානු පළමු පෙළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පස්වනවරටත් මේ වන විට පැවැත්වෙමින් තිබේ. අප්‍රේල් මස හතරවැනිදා ආරම්භ වී මැයි මස 27 වනදා දක්වා දින 51 ක් තුළ කණ්ඩායම් නවයක සහභාගිත්වයෙන් ඉතාමත් තරගකාරිත්වයකින් යුතුව පැවැත්වෙන මෙම තරගාවලියට මෙවර තරග 76 ක් ඇතුළත්ය.
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබල චරිත සමග ඉන්දියානු තරුණ ක්‍රීඩකයන් තරගවදින අයි.පී.එල්.
නැරඹීම සඳහා ක්‍රීඩා පිටි තුළට  රොක්වෙන ක්‍රීඩාලෝලීන් ඉතා උදේ‍යා්ගයෙන් තරග නරඹන ආකාරය දෙස බලන විට මෙම තරගාවලිය ලොව තුළ කොතරම් ක්‍රිකට් උන්මාදයක් ඇතිකොට තිබේ දැයි දැකිය හැක.අයි.පී.එල්. තරගාවලිය පිළිබඳව ඇති උන්මාදය කොතරම්ද යත් එය අද ජාත්‍යන්තර ක්‍රිකට් ලෝකය වෙලාගත් බූවල්ලකු ගේ තත්ත්වයට පත්වී තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් දින දර්ශනය වෙනස් කිරීමට මෙන්ම ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් තමන්ගේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව පසෙකට දමමින් අයි.පී.එල්. ක්‍රීඩාකිරීමට මුල් තැන දීම අද විවාදාත්මක කරුණක් බවට පත් වී ඇත.
මේ වන විටත් වසරේ මාස දෙකකට ආසන්න කාලයක් අයි.පී.එල්. සඳහා වෙන් වී තිබේ. ඉදිරි කාලයේ දී එය තවත් දිගුවනු ඇත. මේ නිසා විශාල ක්‍රිකට් තරග ප්‍රමාණයක් පැවැත්වීමට නොහැකිවේ. මෙයින් අපහසුවට පත්වන්නේ ක්‍රිකට් ක්‍රීඩා කරන කුඩා රටවල් සහ අයි.පී.එල්. ක්‍රීඩා කිරීමට නොලැබෙන පසුපෙළ ක්‍රිකට් ක්‍රීඩකයන්ය.


අයි.පී.එල්. ක්‍රීඩාකිරීමට ලැබෙන්නේ සුපිරි ජාත්‍යන්තර ක්‍රීඩකයන්ට පමණි. සිම්බාබ්වේ, බංගලිදේශ, කෙන්යා වැනි කණ්ඩායම්වල ක්‍රීඩකයන් හට අයි.පී.එල්. ක්‍රීඩා කිරීමට ලැබිම හා එහිදී වටිනා ඉල්ලුමක් ඇති කර ගැනීම ඉතා අසීරු කරුණකි. එමනිසා බොහෝ ජාත්‍යන්තර ක්‍රීඩකයන්ට සිදුවන්නේ අයි.පී.එල්. තරගාවලිය පැවැත්වෙන කාලය තුළ ක්‍රිකට් නොමැතිව කාලය ගත කිරීමටයි. ඒ සමගම රටට ලැබිය යුතු මුදල් ප්‍රමාණයක්ද එම රටවල් වලට අහිමි වේ. අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනයද මෙම අර්බුදයට මුහුණ දේ. අයි.පී.එල්. තරගාවලියෙන් අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනයට කිසිඳු ලාබයක් නොලැබේ. නමුත් අයි.පී. එල්. තරගාවලිය පැවැත්වෙන කාලය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් තරග පවත්වනවා නම් ඉතා විශාල ආදායමක් එම තරග පැවැත්වෙන රටවලට ලැබේ.

මෙයට හොඳම උදාහරණයක් නම් පසුගිය එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරයයි. එහිදී පැවැත්වූයේ ටෙස්ට් තරග  දෙකක් පමණි. ක්‍රීඩකයන් හට අයි.පී.එල්. ක්‍රීඩා කිරීමට යාමට ඇති අවශ්‍යතාවය මත ටෙස්ට් තරගාවලිය තරග දෙකකට පමණක් සීමා කළබවට මාධ්‍ය වාර්තා පළ විය. ඊට අමතරව කෙතරම් එක්දින තරග ප්‍රමාණයක් අහිමි වූවා දැයිද සොයා බැලිය යුතුය. එසේ වූවා නම් එම පාඩුව සිදුවූයේ අයි.පී.එල්. තරගාවලියට සහභාගිවීමට ගිය සුපිරි ක්‍රීඩකයන්ට නොව රටේ ක්‍රිකට් ක්‍රීඩාවට සහ අයි.පී.එල්. අවස්ථා නොලද නැගී එන ක්‍රීඩකයන්ටයි.

මෙය සෑම රටකටම ‍පොදු අලාබයකි. ඊට අමතරව ජාතික වස්තූන් වැනි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ රට වෙනුවෙන් ඇති කැපවීමද ප්‍රශ්නකාරී බවට පත් වී තිබේ. මේ වනවිට ප්‍රවීණ ක්‍රීඩකයෝ දේශීය ක්‍රිකට් ක්‍රීඩාවට වඩා අයි.පී.එල්. සඳහා කැපවන බව පැහැදිලිවම පෙනී යති. මේ සඳහා ඇති නව-තම උදාහරණය ශ්‍රීලංකා ක්‍රිකට් පි‍ලේ උපනායක ඇන්ජලෝ මැතිව්ස්ය. විටින්විට මතුවන කකු‍ලේ ආබාධය නිසා පන්දු-යැවීමට අසීරුයැයි කියමින් ඉදිරියේදී පිතිකරුවකුගේ භූමිකා-වට පමණක් පණ පෙවීමට තෝරාගත් බවට අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් විහිළුවට ලක්කරමින් මැතිව්ස් අයි.පී.එල්. තරගාවලිය තුළ පන්දු යවමින් සිටී. ඔහුට ආබාධ ඇති වන්නේ ශ්‍රී ලංකාපිලට ක්‍රීඩා කරන විට පමණකි. මෙවැනි දේ කෙසේවත් හොඳ ආදර්ශයන් නොවේ. තව ටික කලක් යන විට මෙම ක්‍රීඩක-යෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ඇති කරගන්නා වාර්ෂික ගිවිසුමෙන් ද මගහැර යාමට උත්සාහ ගනු ඇත. අවස්ථාවක් තිබුණොත් පමණක් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම ගැන සලකා බලන්නම් යැයි මොවුන් ඉදිරියේදී පැවසීමට ඉඩ තිබේ.

මේ අතර ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණි ලසිත් මාලිංග ද තමන් ක්‍රීඩා කරන්නේ මුදල් වලට බව ප්‍රසිද්ධියේම පුවත්පතකට ප්‍රකාශ කර තිබුණි.
ටෙස්ට් තරග වලින් සමුගැනීම නිසා සිය කොන්ත්‍රාත් මුදල අඩුවීම පිළිබඳව කෝපයෙන් පසුවෙන ලසිත් මාලිංග දැන් ප්‍රසිද්ධියේම මුදලට ක්‍රීඩා කරන බව පවසයි.
පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහ තරගයේදී වැන්කඩේ ක්‍රීඩාංගණයේ දී පින්න නිසා යෝකර් යැවීමට නොහැකි වූ බව පැවසූ මාලිංග දැන් එම ක්‍රීඩාංගණයේදීම අයි.පී.එල්. තරග වලදී පින්න තියෙද්දී යෝකර් යවමින් කඩුලු පිට කඩුලු බිඳ දමන්නේ කෙසේදැයි ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීහු ප්‍රශ්න කරති. එයත් මාලිංග කියන ආකාරයමට මුදල් නිසා දැයි දන්නේ ලසිත් මාලිංග පමණි.

අයි.පී.එල්. මුදල් නිසා හිස උදුම්මවාගත් මෙම ක්‍රීඩකයන් පාලනය කිරීමට දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ද නොහැකි වී තිබේ. ටෙස්ට් පිටියෙන් සමුගත් මාලිංගට දිය යුත්තේ එක්දින තරග හා 20-20 තරග සඳහා කොන්ත්‍රාත් මුදල් පමණි. කොන්ද පණ ඇතිව මාලිංගලාට අවශ්‍ය පරිදි මුදල් නොගෙවීමටත් රටට ක්‍රීඩා කිරීමට බැරිනම් ඉන්දියාවට ගොස් ඉන්දියාවට ක්‍රීඩා කරන ලෙස පැවසීමට ක්‍රිකට් බලධාරීන්ට හැකියාවක් තිබිය යුතුවේ. මෙවන් රට ගැන නොසිතන මුදල් ගැන සිතන ක්‍රීඩකයන් යොදවා ජයග්‍රහණ සෙවීමට වඩා රට ගැන සිතන තරුණ ක්‍රීඩකයෙකුට අවස්ථාව ලබා දීම වටී.

අයි.පී.එල්. තරගාවලිය හරහා මතුවන තවත් බරපතළම කාරණයක් නම් අනවසර බුකී ඔට්ටු කරුවන් හට නිදහසේ ක්‍රියා කිරීමට  ඇති මහඟු හැකියාවයි. අන්තර්ජාතික ක්‍රිකට් සම්මේල-නය කුමන අයුරකින්වත් මෙම තරගාවලියට සම්බන්ධතාවයක් නොමැති වටපිටාවක් තුළ සහ ක්‍රීඩකයන් හට ඇති නිදහස හේතුවෙන් ඔට්ටුකරුවන් බඩ පිනුම් ගසමින් ක්‍රීඩකයන් වටේ කැරකෙනු ඇත. අයි.පී.එල්. තරගාවලියේ හිටපු සංවිධායක ලලිත් මූඩි හටද වංචා චෝදනා එල්ල විය. අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේදී ක්‍රීඩකයන් අලෙවිවන්නේ කුමන ආකාරයට දැයි වටහා ගැනීම ඉතා අසීරු කටයුත්තකි. සමහර ප්‍රබල ක්‍රීඩකයෝ අඩු මුදලකට වෙන්දේසිවන විට එතරම් ඉහළ  මට්ටමක දක්ෂතා අතර නොසිටින ක්‍රීඩකයන් වැඩි මුදලකට අලෙවි වේ.

අයි.පී.එල්. තරගාවලියේ ආරම්භය ද විවාදාත්මකය. 2007 වසරේ සී රූපවාහිනී ආයතනය විසින් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවසරයකින් තොරව ආරම්භ කළ ඉන්දියන් ක්‍රිකට් ලීග් තරගාවලිය නීති විරෝධී බවට තීරණය කරමින් එයට විකල්පයක් ලෙස ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අයි.පී.එල්. තරගාවලිය ආරම්භ කරන ලදී. එකල ඉන්දියන් ක්‍රිකට් ලීග් තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයන් හට තරග තහනම්ද පනවන ලදී. ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ද මේ අතර වුහ.
මෙමගින් සිදුවූයේ ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය මහා පරිමාණ ක්‍රිකට් තරගාවලියකට මාර්ගය පාදා ගැනීමයි. නීති විරෝධී  ක්‍රිකට් තරගාවලියක් නවතා දමනවාට වඩා එය විකල්පයක් ලෙස වෙනත් තරගාවලියක් ආරම්භ කර එයින් විශාල ආර්ථික ලාබයක් අත් කර ගැනීමට ඉන්දියාව ඉතා සාර්ථක සැලසුමක් සකස් කළේය. අද එමගින් සාර්ථක ආර්ථික ප්‍රතිඵල නෙළාගන්නා ඉන්දියාව ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාවද පාලනය කිරීමට උත්සාහ ගනී.

මේ වන විට අසීමිත ධනයකට හිමිකම් කියන ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය පැවැත්ම සඳහා වැඩිම මුදලකින් සම්මාදම් කරන රටද වේ. මේ නිසා අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය ඉන්දියානු පදයට නටන, ඉන්දියාවට වාසි සහගත ලෙස ක්‍රියාකරන බවට මත පළවෙමින් තිබේ. විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව එකඟ කරගැනීමට තවමත් ඔවුනට නොහැකි වීමද විවාදයට තුඩු දී ඇත.

කෙසේ වුවත් සියලු රටවල ක්‍රිකට් පාලක මණ්ඩල අයි.පී.එල්. තරගාවලිය දෙස විමසුම් ඇසින් බැලිය යුතුය. මෙය නිවැරදි ලෙස පාලනය කරගැනීමට අසමත් වුවහොත් අනාගතයේ ජාත්‍යන්තරයේ ක්‍රිකට් ක්‍රීඩාව අයි.පී.එල්. වැනි තරගාවලි වලට යටවීම නොවැළැක්විය හැක.

එංගලන්ත ප්‍රාන්ත තරගාවලියට ක්‍රීඩා කිරීම අතීතයේ ජාතික පිල නියෝජනය කිරීමට වරම් ලද ක්‍රීඩකයෙකුගේ ප්‍රධාන අරමුණකි. ඒ සඳහා අවස්ථාව ලැබුණේ ක්‍රීඩකයන් අතළොස්සකට පමණි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිපදෙනෙකුටද මේ අවස්ථාව ලැබුණත් ජාතික පි‍ලේ තරග කාලසටහන අනුව ඔවුනට එම අවස්ථාව අහිමි විය. ඔවුන් ටෙස්ට් තරග අතහැර ප්‍රාන්ත තරග ක්‍රීඩා කිරීමට ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අවසර ඉල්ලුවේ නැත. අවසර ලැබුණේ නැත.

අයි.පී.එල්. යනු ඉතාමත් තරගකාරී තරගාවලියකි. අනාගතයේ අයි.පී.එල්. ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා ගැනීම ඉතා දුෂ්කර වනු ඇත. මේ වන විට එය සිදුවෙමින් පවතී. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් හටද කණ්ඩායමේ ස්ථානය තහවුරු කරගැනීම අසීරු වී තිබේ. ඔහු ක්‍රීඩා කරන කණ්ඩායම මුහුණ දුන් ප්‍රථම තරග හය තුළ දී ඔහුට ක්‍රීඩා කිරීමට හැකිවුණේ එක් තරගයක් පමණි. මේ නිසා ක්‍රීඩකයන් මතක තබාගත යුතු කරුණක් තිබේ. අයි.පී.එල්. ක්‍රීඩා කිරීමට නම් ක්‍රීඩා පිටිය තුළ නමක් ඇති කරගත යුතුය. එසේ වීමට නම් රටවෙනුවෙන් ජාත්‍යන්තර  ක්‍රිකට් ක්‍රීඩා කළ යුතුය. ක්‍රීඩකයාගේ ප්‍රධානම අරමුණ විය යුත්තේ තම රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමයි. දෙවනුව අයි.පී.එල්. පිළිබඳව අවධානය යොමු කළ හැක.

No comments:

Post a Comment